ඊසානදිග මෝසම් කාලයේ අවසානයත් සමගම එළඹෙන්නේ පළමු අන්තර්මෝසමයි. මාර්තු සහ අප්‍රේල් මාස දෙක මෙම කාලයට අයත් වේ.
දිවයින හරහා මෝසම් සුළං ප්‍රවාහයේ දුර්වල වීමත් සමගම මාර්තු මාසයේදී ප්‍රධාන වශයෙන් සංවහන වැසි සඳහා හිතකර තත්ත්වයක් නිර්මාණය වෙයි. මෙම වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇතිවිය හැකි වුවත් පසුගිය වර්ෂා දත්ත විශ්ලේෂණයේදී පැහැදිලි වන්නේ සබරගමුව පළාතේ සාපේක්ෂව වැඩි වැසි ප්‍රමාණයන් නිරීක්ෂණය වී ඇති බවයි. එසේමඋතුරු ප්‍රදේශවලට වඩාත් අවම වැසි ප්‍රමාණයන් ලැබී ඇති බව දැකගත හැක.
01 රූපය - මාර්තු මාසයේ සාමාන්‍ය වර්ෂාපතනය
මාර්තු මාසයේදීත් දිවයිනේ උෂ්ණත්ව ව්‍යාප්තිය ප්‍රධාන වශයෙන්ම භුමියේ උන්නතාංශය සමග වෙනස් වන ආකාරයක් දකින්න පුළුවන්. වසරේ සාමාන්‍ය උෂ්ණත්ව අගයන් අතර වැඩි අගයන්ගෙන් යුක්ත මාසයක් ලෙස මාර්තු හැඳින්විය හැකියි. විශේෂයෙන්ම බස්නාහිර, වයඹ සහ උතුරු පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් සාපේක්ෂව වැඩි උෂ්ණත්ව අගයන් පැවතීමේ වැඩි හැකියාවක් මෙම මාසයේදී පවතී.
02 රූපය - මාර්තු මස සාමාන්‍ය උෂ්ණත්වය (මුහුද හා පොලොව මතුපිට මීටර 2 ක් උසින් )
මාර්තු මාසයේ මුල් කාලයේ දුර්වල වෙමින් පවතින ඊසානදිග මෝසම් සුළං පැවතිය හැකිමුත් පසුව වඩාත් අවම සුළන් වේගයන් නිරීක්ෂණ වේ. ප්‍රධාන වශයෙන් නැගෙනහිරින් පැමිණෙන සුළං දැකිය හැකි අතර දහවල් කාලයේ මුහුදු සුළං සහ රාත්‍රී කාලයේ ගොඩ සුළං ලෙස නව සුළං රටාව සැකසේ. ක්ෂණිකව වැඩිවිය හැකි සුළං වේගයන්ද ඒ අනුව අවම අගයන්වල පවතී. කෙසේ වෙතත් මාර්තු මාසයේ ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථා වලදී වර්ධනය වන කැටි වැහි වලාකුළු මගින් පහලට පැමිණිය හැකි අධික වේගයෙන් යුක්ත යටි සුළං ධාරා මගින් ප්‍රවේශම් වීම අත්‍යවශ්‍ය වේ.
03 රූපය - සුළගේ වේගය සහ දිශාවන් (මුහුද හා පොලොව මතුපිට මීටර 10ක් උසින්)
04 රූපය - සුළං වේගය විටින් විට ක්ෂණිකව වැඩිවීමේ වේග ප්‍රමාණය. (මුහුද හා පොලොව මතුපිට මීටර 10ක් උසින් )
කාලගුණ සහ දේශගුණ ආපදා පිළිබඳව අවදානය යොමු කිරීමේදී මාර්තු මාසයේ වඩාත් අවදානය යොමුකළ යුතු තත්ත්වයන් ලෙස ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථා වලදී ඇතිවන අකුණු අනතුරු සහ තාවකාලික යටිසුලන් ධාරාවන්ගෙන් ආරක්ෂා වීම වගේම අධික උෂ්ණත්වයන් නිසා ඇතිවිය හැකි සෞඛ්ය ගැටළු මගහරවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම හඳුනාගත හැකියි. වඩාත් උෂ්ණ සහ වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් විජලනයට පත් වීම් වලක්වා ගැනීමට, වැඩිපුර ජලය පානය කිරීම අවශ්‍ය වේ. පළමු අන්තර්මෝසමේ ඇතිවියහැකි ආපදා අවම කරගැනීමට මෙම සබැඳියේ ලිපිය කියවන්න.
05 රූපය - මාර්තු මාසයේ සාමාන්‍ය අකුණු ව්‍යාප්තිය
මාර්තු මාසයේ සාමාන්‍ය අකුණු ව්‍යාප්තිය පිළිබඳව අවදානය යොමු කිරීමේදී ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්ක සාපේක්ෂව ඉහල අවදානමක් ඇති අතර කොළඹ, කළුතර, කුරුණෑගල, අනුරාධපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් අවදානම් සහිතබව දැකිය හැකියි. 06 රූපයේ දැක්වෙන පරිදි අකුණු ඇතිවන දිනක වඩාත් වැඩි විදුලිකෙටුම් සහිත වැඩි අවදානම් කාලය ලෙස සවස 2.00 සිට 06.00 දක්වා කාලය හඳුනා ගත හැක.
06 රූපය - මාර්තු මාසයේ සාමාන්‍ය දවසක් තුල අකුණු නිරීක්ෂිත කාලයේ ව්‍යාප්තිය.
උෂ්ණත්වය තනි අගයක් ලෙස නොගෙන මිනිසුන් හට දැනෙන උෂ්ණත්වය ගණනය කිරීමට භාවිතා කරන දර්ශක අතර European Centre for Medium-Range Weather Forecasts (ECMWF) ආයතනයේ පර්යේෂකයන් විසින් හඳුන්වා දෙන ලද සාර්ව උණුසුම් දේශගුණ දර්ශකය (Universal Thermal Climate Index - UTCI) වඩාත් බහුලව භාවිතා වෙයි. 07 රූපයේ දැක්වෙන්නේ එම දර්ශකයෙන් ගණනය කරන ලද උෂ්ණත්ව අගයන් සහ අනුයාත වර්ණයන් ය.
07 රූපය - සාර්ව උණුසුම් දේශගුණ දර්ශකය (UTCI) කාණ්ඩ අගයන්හි වර්ණයන් සහ උෂ්ණත්ව අගයන් (සෙල්සියස් අංශක)
මාර්තු මාසයේ UTCI අගයන් සංසන්දනය කිරීමේදී මධ්‍යම පළාත හැරුණකොට මුළු දිවයිනම පාහේ අධික උණුසුම් මට්ටමේ පැවත ඇති බව දිස්වේ. වඩාත්ම අවදානම් කලාප ලෙස කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක හඳුනාගත හැකි අතර දහවල් 12.30 සිට 02.30 දක්වා කාලය එහි උච්චතම අවස්ථා දක්වයි.
08 රූපය - මාර්තු මාසයේ දහවල් කාලයේදී ගණනය කරන ලද සාර්ව උණුසුම් දේශගුණ දර්ශකයේ(UTCI) අගයන්. (දහවල් 12.30 අවස්තාව, දහවල් 01.30 අවස්තාව, දහවල් 02.30 අවස්තාව සහ දහවල් 03.30 අවස්තාව දක්වා ඇත.)
ඒ අනුව මාර්තු මාසය තරමක වියලි ස්වභාවයක් ගත්තත් සබරගමුව පළාතේ සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව වැඩි වැසි ප්‍රමාණයක් පැවතිය හැකි අතර වැසි ප්‍රධාන වශයෙන් සංවහනය නිසා හටගනී. අකුණු අනතුරු සහ උෂ්ණ තත්වයන් නිසා ඇතිවියහැකි සෞඛ්‍ය ගැටළු මෙම මාසයේ සුලබ විය හැකි අතර ඒ සඳහා සුදුසු පියවර ගැනීම අවශ්‍ය වේ.
රූපසටහන් සඳහා යොදාගත් දත්ත.
01 සිට 04 දක්වා රූපසටහන් – ECMWF’s ERA-5
Reanalysis data (1979-2019) (https://www.ecmwf.int)
05 සහ 06 රූපසටහන් - GLD 360 lightening strokes data over
the years 2015 - 2018 from the Department of meteorology, under the Finnish
Meteorological Institute under the Severe Storm Warning Services for Sri Lanka
(SSWSS) project
07 සහ 08 රූපසටහන් - ECMWF’s UTCI
calculations based on ERA-5 Reanalysis data (1979-2021) (https://www.ecmwf.int)
Software
Calculations - CDO
Plotting - GrADS
0 Comments