නිරිතදිග මෝසම් කාලය තුළ තවත් එක වැදගත් මාසයක් ලෙස ජුලි මාසය හඳුනාගත හැකියි. ජුලි මාසයේදීත් දිවයිනේ නිරිතදිග කොටස්වල පෙර මාසයේදී  පැවති තරමක වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් දක්නට ලැබෙන අතර මාසයේ වැඩි දවස් ප්‍රමාණයක් වලාකුළින් බර අහස සහ වැසි සහිත බව නිරීක්ෂණය කල හැක. රාත්‍රී කාලයේදීත් බොහෝවිට අහස වලාකුළින් බරව පැවතීම නිසා සහ ආර්ද්‍රතාවය තරමක් වැඩි නිසා සිරුරට දැනෙන උෂ්ණත්වය වැඩි විය හැකි අතර රාත්‍රී කාලයේ දහදිය සහිත වීම තරමක අපහසුතාවයක් ගෙන දෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී නිරිතදිග ප්‍රදේශවල තරමටම නොමැති වුවත්, මොනරාගල, අම්පාර, අනුරාධපුර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත්  යම් වැසි ප්‍රමාණයක්  ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල තරමක වියලි කාලගුණික තත්ත්වයක් දැක ගත හැකියි. මේ මාසයේදීත්  විශේෂයෙන්ම උතුරු නැගෙනහිර කොටස්වල උෂ්ණත්වය දිවයිනේ සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව වැඩි අගයන් ගනී.

ජුලි මාසයේ සාමාන්‍ය වර්ෂාපතනය. 

ජුලි මාසයේ උෂ්ණත්වය ව්‍යාප්තිය (මුහුද හා පොලොව මතුපිට මීටර 2 ක් උසින් )


ජුලි මාසයේදීත් පවතින ස්වභාවික ආපදා තත්ත්වයන්  සැලකීමේදී මුහුදේ සහ ගොඩබිම සුළං වේගය ක්ෂණිකව වැඩිවීම ප්‍රමුඛ වේ. එනම්, නිරිත/බස්නාහිර දෙසින් හමන සුළං වේගය ක්ෂණිකව ඉහළයාමේ අවදානම් තත්ත්වයන් මෙම මාසයේද දැකිය හැක. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් බලපානුයේ දිවයිනේ වයඹ බස්නාහිර නිරිත සහ දකුණු මුහුදු ප්‍රදේශ සහ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ, මාතලේ සහ පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවලටයි. 

සුළගේ වේගය සහ දිශාවන් (මුහුද හා පොලොව මතුපිට මීටර 10ක් උසින්)

 සුළං වේගය විටින් විට ක්ෂණිකව වැඩිවීමේ වේග ප්‍රමාණය. (මුහුද හා පොලොව මතුපිට මීටර 10ක් උසින් ) 


විශේෂයෙන්ම ඉහත සඳහන් කල මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන්නන් සහ එම ගොඩබිම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව අදාළ වෙනස්කම් ගැන අවදානයෙන් පසුවීම වඩාත් සුදුසු වේ.


සටහන :
ඉහත දැක්වෙනුයේ 1979-2019 දක්වා වසරවල දත්ත යොදාගනිමින් ජුලි මස ලංකාව ආශ්‍රිතව පවතින දේශගුණික ස්වභාවය පිළිබඳව සිදු කරනලද සොයා බැලීමකි.

> Data source – ECMWF’s ERA5 

> Calculating tool - CDO                    

> Plotting tool - GrADS                       


0 Comments