සුනාමි අනතුරු ඇඟවීම - කා.වි.දෙ. කාර්යභාරය
2004 දෙසැම්බර් මස 26 දින සුනාමි අනතුරින් අහිමිවූ ජීවිත ගණන අති විශාලයි. මේ ඒ පිළිබඳව නොවුනත් ලංකාවේ වර්තමාන සුනාමි අනතුරු ඇඟවීම් ක්‍රියාවලියේ මූලික අදියරයන් පිළිබඳව සහ ඉදිරි සුනාමි අනතුරු වලක්වා ගැනීමට වගේම අනවශ්‍ය ලෙස කලබලවීම් වලක්වා ගැනීමට අවශ්‍ය තොරතුරු ප්‍රමාණයක් එකතු කිරීම මෙම ලිපියේ අරමුණයි.
සුනාමි අනතුර සිදුවූ අවස්ථාවේ ඒ පිළිබඳව අනතුරු ඇඟවීම් හෝ තොරතුරු නිකුත් කිරීම වෙනුවෙන් වගකිව යුතු ආයතනයක් ශ්‍රී ලංකාවේ එවකට නොතිබිණි. ඒ අනුව 2005 වර්ෂයේදී ආපදා කළමනාකරණ මද්‍යස්ථානය ස්ථාපිත විණි. ඒ සමඟම සුනාමි අනතුරු ඇඟවීම පිළිබඳව වගකීම් ප්‍රමාණයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හට පවරන ලද අතර එම දෙපාර්තමේන්තුව ලංකාවේ ජාතික සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය ( NTWC - National Tsunami Warning Center ) ලෙස ක්‍රියාත්මක වීම ආරම්භ විය. ඔවුන් විසින් පැය 24 පුරා විශේෂයෙන්ම මුහුදේ ඇතිවන භූ කම්පන නිරීක්ෂණය සහ ඒ ආශ්‍රිතව ඇතිවන ජල තරංග නිරීක්ෂණය සිදුකරනු ලබයි.
ලොව පුරා ස්ථාපිත සංවේදක විශාල ප්‍රමාණයකින් භූ කම්පන නිරීක්ෂණය සිදු කරනු ලබන Global Seismographic Network (GSN) ජාලය හරහා ලබා ගන්නා දත්ත (මෙම ජාලයට අයත් සංවේදකයක් ලංකාවෙ පල්ලෙකැලේ පිහිටුවා ඇත.) භාවිතා කර අමෙරිකාවෙ United States Geological Survey (USGS) ආයතනය විසින් ඉතාමත් සුළු වෙලාවකින් ලෝකයේ සිදුවන භූ කම්පන අන්තර්ජාලයට මුදා හරියි. ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙ භාවිතා කරනු ලබන්නේ USGS හි National Earthquake Information Center (NEIC) භූ කම්පන දත්ත වන අතර මේවායේ නිවැරදිතාවය ඉතාම ඉහල මට්ටමක පවතිනවා වගේම තත්පර ගානක් හෝ මිනිත්තු කිහිපයක් ඇතුලත යාවත්කාලීන වෙයි.
සුනාමි ඇතිවියහැකි ක්‍රම කිහිපයක්ම පැවතුනත් ලංකාව ඇතුළු බොහෝ රටවල් ප්‍රධාන වශයෙන් සිය අවදානය යොමු කරනු ලබන්නේ මුහුදු පතුලේ ඇතිවන භූ කම්පන නිසා නිර්මාණය වන සුනාමි අනතුරු සම්බන්දවයි. ඒ අනුව සෑම මොහොතකම මේ භූමිකම්පා හඳුනා ගැනීම සඳහා, ඉහත සඳහන් කරන ලද භූ කම්පන නිරීක්ෂණ ජාලය ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
කවුරුත් දන්නා පරිදි කා.වි.දෙ. යනු කාලගුණ සහ දේශගුණ අනාවැකි/තොරතුරු නිකුත් කිරීම සහ දැනුවත් කිරීම සම්බන්ද ආයතනයක් වුවත් සුනාමි අනතුරු ඇඟවීම සම්බන්දව අවශ්‍ය වන පහසුකම්, ශිල්පීය දැනුම සහ ක්‍රමවේද ඔවුන් හට ලබාදීම විසින් එම කාර්යය වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට ඔවුන්ට හැකිවී තිබේ. කලින් සකසන ලද නිශ්චිත ක්‍රියාත්මකවීමේ ක්‍රමවේදයකට (SOP - Standard Operating Procedure ) අනුව ඔවුන් විසින් සුනාමි අනතුරු ඇඟවීම් සිදු කරනුලබන අතර ඉන් පසුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සෙසු කටයුතු මෙහෙයවයි.
පහතින් දැක්වෙනුයේ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට පෙර ඒ සම්බන්දව කා.වි.දෙ. ක්‍රියාත්මකවන ආකාරයයි.
01. USGS - NEIC හි නිරන්තරයෙන් යාවත්කාලීන වන භූ කම්පන පැය 24 පුරා නිරීක්ෂණය කිරීම.
02. සුනාමි ඇති විය හැකි භූ කම්පන කලාපය (Western part of SUNDA and MAKRAN subduction zones) තුළ සිදුවන, විශාලත්වය ඒකක 6.5ට වැඩි භූ කම්පන පිළිබඳව අවධානය යොමු කෙරේ. මෙහිදී භූ කම්පනයේ විශාලත්වය, සිදුවූ ස්ථානය, භූ තැටි වල චලන දිශාවන්(සිරස් හෝ තිරස් බව) අනුව මුලික නිගමනවලට එළඹේ.

03. අවශ්‍ය අවස්ථා වලදී භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ(GSMB) සහය ලබා ගනී. ඒ අනුව තත්ත්වය වඩාත් තහවුරු කර ගනී.
04. සුනාමි අනතුරු ඇඟවීම් සිදු කිරීම සඳහා කලාපීය මධ්‍යස්ථාන තුනක් පිහිටුවා ඇති අතර ඒවා ඉන්දියාව, ඉන්දුනීසියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල් විසින් පවත්වාගෙන යයි. ඉහතින් සඳහන් කරනලද තත්ත්වයකදී මෙම සේවා සපයන්නන්න්ගේ වෙබ් අඩවි නිරීක්ෂණය ආරම්භ වන අතර අදාළ තත්ත්වය පිළිබඳව කලාපීය සුනාමි සේවා සපයන්නන් ඒවා නිරන්තරව යාවත් කාලීන කරයි.
05. සමුද්‍ර බොයා නිරීක්ෂණය සිදු කෙරේ. එමගින් අදාල බෝයාව පසුකරගෙන යන මුහුදු රැල්ලක්(Wave) හඳුනා ගැනීමේ හැකියාවක් පවතී.
05. බහුලව භූ කම්පන සිදුවන සුන්ඩා/ඉන්දුනීසියානු කලාපයේ භූමිකම්පාවක් සිදුවීමෙන් කිසියම් සුනාමි තත්ත්වයක් නිර්මාණය වී ඇත්නම් අප රටේ පිහිටීම් අනුව එම රළ අප රට වෙත ලඟා වීමට සාමාන්‍යයෙන් පැය දෙකහමාරක් පමණ ගතවන බව ගණනය කර තිබේ. එහෙත් අදාළ භූ කම්පන මධ්‍යය ස්ථානයට ආසන්න රටවල් වෙත සුනාමි රළ පැමිණීම වඩාත් කලින් සිදුවේ. මෙය යම් ආකාරයක තොරතුරු තහවුරු කර ගැනීමට අවස්තාවක් බැවින් සෙසු රටවල් වෙත ආපදාවට පත්වූ රටෙහි තත්ත්වය අදාළ මොහොතේදීම දැනුම් දෙනු ලැබේ. මෙය සිදු කරනුයේ ඉහත සඳහන් කල සුනාමි සේවා සපයන වෙබ් අඩවි මාර්ගයෙනි.
06. සියලු තත්ත්වයන් වෙත අවධානය යොමු කරමින් අවස්තානුරුපීව ක්‍රියාත්මක වීමේ පටිපාටිය අනුව දැනුවත් කිරීම්/අනතුරු ඇඟවීමේ නිවේදන කා.වි.දෙ. මගින් ජනතාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මාධ්‍ය ආයතන වෙත නිකුත් කෙරේ.
07. මෙම දැනුම් දීම් කටයුතු වලින් අනතුරුව ඉදිරි කටයුතුවලින් බොහෝ ප්‍රමාණයක් සිදු කරනු ලබන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසිනි.
08. සුනාමි අවදානම් තත්ත්වය පහව ගිය පසු ඒ බවද නැවත කා.වි.දෙ. විසින් ජනතාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මාධ්‍ය ආයතන වෙත දැනුම් දෙනු ලැබේ.
⚠ සුනාමි තත්ත්වයන් පිළිබඳව තොරතුරු ලබාගැනීමට පැය 24 පුරා ක්‍රියාත්මක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය අමතන්න. දු.ක. 0112 686 686
0 Comments