මාර්තු සහ අප්‍රේල් මාසවල දේශගුණය සහ ආපදාවන් පිළිබඳ විශ්ලේෂණයක්
මාර්තු සහ අප්‍රේල් යනු ලංකාවේ පළමු අන්තර්මෝසම් කාලයයි. පසුගිය වර්ෂාපතන දත්ත විමසා බැලීමේදී වසරේ මුළු වර්ෂාපතනයෙන් 14%ක් වැනි අවම වැසි ප්‍රමාණයක් ලැබෙන කාලය ලෙස මාර්තු සහ අප්‍රේල් මාස හඳුනා ගත හැක. අන්තර් මෝසමේ සාමාන්‍ය ස්වභාවය අනුව දිවයින හරහා මෝසම් සුළං බලපෑම අවම වන බැවින් සුළගේ වේගය අවම වේ. වැසි ලැබීම බොහෝ දුරට සිදුවනුයේ මුහුදු සුළං සහ ගොඩ සුළං වගේම සංවහනය හේතුවෙනි.
කෙසේ වෙතත් අවම වැසි ලැබීමේ ස්වභාවය නිසාම නියං තත්ව වැනි ආපදා ඇතිවීමේ අවදානමක් පවතින මාස දෙකක් විදියට වගේම අකුණු අනතුරු සහ අධික උෂ්ණත්වයන් හේතුවෙන්ද අනතුරු ආපදා ඇතිවිය හැකි නිසා මෙම මාස දෙකෙහි දේශගුණික ලක්ෂණ හඳුනා ගැනීම වඩාත් වැදගත් වෙනව. මෙම ලිපියේ අරමුණ වනුයේ, පසුගිය වසර ගණනාවක දත්ත යොදා ගනිමින්, මාර්තු අප්‍රේල් මාසවල දේශගුණය සහ ඉහත සඳහන් වූ ආපදාවන්වල ස්වභාවය වගේම ඒවායේ නිශ්චිත ලක්ෂණ පිළිබඳව සොයා බැලීමයි.
01.(a) රූපයේ දැක්වෙන පරිදි මාර්තු මාසයේ වැසි ව්‍යාප්තිය අනුව සෙසු මාස වලට සාපේක්ෂව අවම අගයන් දකින්න පුළුවන්. මාසයේ වැඩිම වැසි ප්‍රමාණයන් සබරගමු සහ මධ්‍යම පළාත් ආශ්‍රිතව නිරීක්ෂණය කරන්න පුළුවන්. උතුරු පළාතේ සාපේක්ෂව අවම වැසි ප්‍රමාණයන් දැකිය හැකියි. 01.(b) හි උෂ්ණත්ව ව්‍යාප්තිය අනුව දිවයිනේ වයඹදිග කොටස්වල සාපේක්ෂව වැඩි උෂ්ණත්ව අගයන් පවතින බව පැහැදිලි වේ. මාර්තු මාසයේ ක්ෂණික සුළං වැඩි වීම් හෝ සාමාන්‍ය සුළං වේගයන් අවම වන අතර වැඩි ප්‍රමාණයක් නැගෙනහිර දෙසින් හමන බවත් 01.(c) සහ 01.(d) රූප සටහන් මගින් දකින්න පුළුවන්.
අප්‍රේල් මාසයේ දේශගුණික ලක්ෂණ අනුව, මාර්තු මාසයට සාපේක්ෂව වර්ෂාපතනයේ වැඩි අගයන් දකින්න පුළුවන්. 02.(a) වැසි ව්‍යාප්තියට අනුවත් මාර්තු මාසයේ පරිදිම සබරගමු සහ මධ්‍යම පළාත්වල වැඩිම වර්ෂාපතන අගයන් පවතී. උෂ්ණත්වයේ තවදුරටත් වැඩි වීමක් 02.(b) රූප සටහන අනුව දකින්න පුළුවන්. ඒ අනුව උතුරු කොටසේම උෂ්ණත්වය වැඩි අගයන් ගන්නා අතර උතුරු පළාතේ එය උපරිම වී ඇත. අප්‍රේල් මාසයෙත් සුළං වේගයන් අවම වන අතර වාමාවර්ත දිශාවක් හඳුනා ගතහැකියි.
දත්ත විශ්ලේෂණයන්ට අනුව දිවයිනේ වැඩිම අකුණු ප්‍රමාණයන් පළවෙනි අන්තර්-මෝසමේ දකින්න පුළුවන්. අකුණු අනතුරු හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන අතර ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් මාර්තු අප්‍රේල් මාසවල සිදුවේ. 3(a) සිතියමේ දත්ත අනුව මාර්තු මාසයේ වැඩිම අකුණු ප්‍රමාණයන් ප්‍රධාන වශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ නිරීක්ෂණය වන අතර අවම අගයන් නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකින්න පුළුවන්. අප්‍රේල් මාසයේ වැඩිම අකුණු ප්‍රමාණයන් බස්නාහිර සහ සබරගමු පළාත්වල නිරීක්ෂණය වන අතර මොනරාගල, ගාල්ල, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වඩාත් ඉහළ අකුණු ප්‍රමාණයන් පවතින බව පෙනේ. මාස දෙකේදීම අකුණු නිරීක්ෂිත කාලයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී 4(a) සහ 4(b) ප්‍රස්තාර මගින් පෙනෙන පරිදි සවස්කාලයේ වැඩිම අකුණු ප්‍රමාණයක් ඇතිවන බව පැහැදිලි වේ. ඒ අනුව සවස දෙකත් හයත් අතර කාලය තුලදී අකුණු ඇතිවීම උපරිමයක් වන බව පෙනේ.
අකුණු අනතුරු අවම කරගැනීමට අපට ගතහැකි පියවර මොනවාද යන්න ප්‍රධාන අවස්ථා තුනක් යටතේ සලකා බලමු.
01. ගිගුරුම් හඬ හොඳින් ඇසෙන දුරින් ඔබ සිටින විට.
- ගිගුම් හඬ ඇසෙන මානයේ එළිමහනක ඔබ සිටියි නම් දැනටමත් අවදානමක් පවතී. වහාම ආරක්‍ෂිත ගොඩනැගිල්ලක් හෝ බාහිරට විවෘත නැති වාහනයක් වැනි ස්ථානයක් කරා ගමන් කිරීම අවශ්‍ය වන අතර විවෘත ස්ථාන කිසිවිටෙකත් අකුණුවලින් ආරක්ෂා වීමට සුදුසුවන ස්ථාන නොවේ. පසුගිය නිරීක්ෂණ අනුව වාර්තා වී ඇති පරිදි ගිගුරුම් සහිත වැසි පවත්නා ස්ථානයේ සිට කිලෝමීටර 15ක් පමණ ඈතින් පවා ජීවිත හානි සිදුවී තිබේ.
- අන්තිම ගිගුරුම් හඬ ඇසී පැය බාගයක්වත් ගතවන තෙක් සුරක්ෂිත ස්ථානයක අභ්‍යන්තරයේ රැඳී සිටීම අවශ්‍ය වේ.
02. ගිගුරුම් සහිත අවස්ථාවක ගොඩනැගිල්ලක් අභ්‍යන්තරයේ ඔබ සිටියි නම්,
- අදාල ස්ථානයේ විදුලිබල සැපයුම හා ඍජුව සම්බන්ධ පරිගණක හෝ රුපවාහිනී යන්ත්‍ර වැනි විදුලි උපකරණ, රැහැන් සහිත දුරකථන භාවිතයෙන් වැළකෙන්න. කෙසේ වෙතත් රැහැන් හා සම්බන්ධ නොකරන ලද ජංගම දුරකතනයක් ආරක්ෂිත ස්ථානයක අභ්‍යන්තරයේ සිට භාවිතා කල හැක.
- ස්නානය, මුළුතැන් ගෙයි පිඟන් සේදීම වැනි ජල සැපයුම හා ඍජුවම සම්බන්ධ ක්‍රියාකාරකම්වලින් ඉවත් වන්න.
- අදාළ ගොඩනැගිල්ලේ ජනෙල්, දොරවල් සහ බාහිරට විවෘත ස්ථානවලින් ඉවත් වන්න.
- කොන්ක්‍රීට් සහිත බිමක් නම් එහි වැතිරී නොසිටින්න. කොන්ක්‍රීට් බිත්තිවලට හේත්තු වී නොසිටින්න.
03. ඉක්මනින් ආරක්‍ෂිත ස්ථානයක් වෙත යා නොහැකි නම් පවතින අවදානම යම් තරමක් අඩු කර ගැනීමට,
- සිටින්නේ උස් ස්ථානයක නම් වහාම පහතට බහින්න.
- කිසි විටෙකත් බිම දිගා නොවන්න.
- හුදෙකලාව පිහිටි ගස් සහ කුඩා කඳුගැට යනාදිය යට නොසිටින්න
- වැව් ගංගා යනාදි ජලය සහිත ස්ථානයන්ගෙන් ඉවත් වන්න.
- විදුලි රැහැන් සහ සන්නායක මාධ්‍යයන්ගෙන් ඈතට යන්න.
- දෙකකුල් ලං කර ඇඟිලි තුඩුවලින් බිම ඇන තබාගෙන සිටීම (උක්කුටියෙන් සිටීම) වඩාත් සුදුසු වේ.
වඩාත් සුලබ නොවුනත් ගිගුරුම් සහිත වැසි සහ අකුණු අනතුරු බහුල පළමු අන්තර් මෝසමේදී ටොනේඩෝ සහ යටි සුළං ධාරා නිසා සිදුවන අනතුරු සහ අවදානම් තත්වයන් ගැන දැනුවත් වීම වැදගත් වේ. මෙම සංසිද්ධීන් මොනවාද යන්නත් ඒවායේ අවදානම අවම කරගැනීම කළහැකි දේ ගැනත් සරලව විමසා බලමු.
ගිගුරුම් සහිත කැටි වැහි වළාකුලකින් පොළොව දෙසට යොමුවන ප්‍රචණ්ඩ වේගයක් සහිත භ්‍රමණය වෙමින් ගමන් කරන සුළං ධාරාවක් ටොනේඩෝවක් ලෙස සරලව හඳුනා ගත හැක. වායුගෝලීය සංසිද්ධීන් අතරින් වඩාත් ඉහල විනාශකාරී ස්ථානයක් ටොනේඩෝ හිමිකර ගන්නා අතර ඒවා කලාතුරකින් ඇතිවනමුත් අතිවිනාශකාරී වේ. ටොනේඩෝවක අභ්‍යන්තර සුළං වේගය පැ.කි.මී. 60ක පමණ සිට පැ.කි.මී. 450ක් වැනි මට්ටමක් දක්වා උවත් අධික විය හැක. ටොනේඩෝ තීව්රතාවයන් පිලිබඳ ෆුජිතා(The Fujita Scale of Tornado Intensity) වර්ගීකරණයේ අදාළ කාණ්ඩයන් සහ ඒවායේ විනාශකාරී බව සඳහන්කර තිබේ. කෙසේවෙතත් ලංකාවේ වාර්තා වී ඇති ටොනේඩෝ තත්වයන් ගැන නිශ්චිත තොරතුරු සීමිත වන අතර භ්‍රමණ සුළං වේගයන්ගේ, නිමානයන්ට අනුව පැ.කි.මී. 100-200 පමණ දක්වා වන අවස්ථා නිරීක්ෂණය වී ඇත.
ටොනේඩෝ ඇතිවන ආකාරය ගැන බොහෝ කරුණු මේවනතෙක් අවබෝධ කරගෙන නොමැති උවත් විශාල ප්‍රමාණයක් වූ පර්යේෂණ මගින් අනාවරණය කරගන්නා ලද තොරතුරු අනුව supercell සහිතව වර්ධනය වූ කැටි වැහි වලාකුළුවල අභ්‍යන්තරයේ ඇතිවන සංකීර්ණ ක්‍රියාවලීන් සමග එම අවස්ථාවේ පවතින පාරිසරික විශේෂත්වයන් හේතුවෙන් ටොනේඩෝ නිර්මාණය වීමේ ඉඩකට තීරණාත්මකවන බව සොයාගෙන ඇත. නවතම ගණිතමය ආකෘති සහ ගණනය කිරීම් වගේම වේගවත් නිරීක්ෂණ ජාලයන්ගේ උදව්වෙන් නුදුරේදීම ටොනේඩෝ අනාවැකි වඩාත් නිවැරදිව ඉදිරිපත් කිරීමට විද්‍යාඥයන්හට හැකිවනු ඇත.
කැටිවැහි වළාකුලකින් පොළොව දෙසට පැමිණෙන වේගවත් යටිසුලන් ධාරාව පොළොවේ වැදීමත් සමග පොළොවට සමාන්තරව හමා යාම නිසා අනතුරු, අවදානම් නිර්මාණය වේ. සමහර අවස්ථා වලදී ඒවා මගින් ටොනේඩෝවකින් සිදුවන තරමේ හානියක් උවද සිදුවිය හැක. ලෝකයේ යටිසුළන් ධාරා මගින් හානි සිදුවූ අවස්ථා සොයාබැලීම් අනුව අධික වැසි නිර්මාණය කළහැකි කැටි වැහි වලාකුළු වගේම කුඩා වැහි ඇති කරන කැටි වැහි වලාකුළු මගින්ද මෙම විනාශකාරී සුළං ඇතිවන බව සොයාගෙන තිබේ. කිලෝමීටර 4කකට වඩා වැඩි ප්‍රදේශවල මෙම සුළං පැවතිය හැකි අතර සාමාන්‍යයෙන් විනාඩි 10ක් පමණ ආයු කාලයක් සහිතව පැ.කි.මී. 80-90 සුළං වේගයන් පැවතිය හැකි උවත් සුළං වේගය පැ.කි.මී. 150 පමණ දක්වා අධික වන අවස්ථාවන්ද නිරීක්ෂණය කරතිබේ.
ටොනේඩෝවක සුළං භ්‍රමණය වන නිසා එමගින් සිදුවන විනාශයන් ගැන සොයා බැලීමේදී ගොඩනැගිලි සහ ගස් වැනි දෑ ටොනේඩෝ ගමන් මාර්ගයේ වෘත්තාකාර ආකාරයක් ගන්නා අතර යටිසුලන් ධාරාව මගින් සිදුවන විනාශයන් එක් දිශාවකට පමණක් දැකිය හැකියි. ඒ අනුව අදාළ විනාශය සිදු වී ඇත්තේ ටොනේඩෝවකින්ද? යටිසුළන් ධාරාවකින්ද? යන්න වෙන් කර හඳුනා ගත හැකියි.
ටොනේඩෝ සහ යටිසුළන් ධාරාවන්ගෙන් සිදුවන අනතුරු තත්වයන්ගෙන් ආරක්ෂා වීමට නම් මුලිකවම ශක්තිමත් සැකිල්ලක් සහිත ගොඩනැගිල්ලක් තුල සිටීම යෝග්‍ය වේ. දැනට එවැනි තත්වයක් නොමැති අය, මාර්තු, අප්‍රේල් සහ ඔක්තෝබර්, නොවැම්බර් වැනි විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි ඇතිවීම් වැඩි කාලවලට මුහුණ දීමට, තම නිවාස ආශ්‍රිතව නිවසට කඩා වැටීමෙන් හානි වියහැකි ගස් කපා ඉවත් කිරීම සුදුසු වන අතර සුළඟින් හානි වියහැකියාවක් පවතින දෑ සම්බන්ධයෙන් අවධානය යොමු කල යුතුය.
වර්තමාන ලෝකයේ අධි තාක්ෂණික උපකරණ සහ ක්‍රමෝපායන් භාවිතා කලත්, ටොනේඩෝ සහ යටිසුලන් ධාරාවන් ගැන අනාවැකිකරණය තවමත් පහලම මට්ටමක පවතී. කාලගුණ අනාවැකි අනුව ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ නම් එම තොරතුර භාවිතා කරමින් ආරක්ෂාව සලසා ගැනීම අවශ්‍ය විය හැකියි. කෙසේ වෙතත් ඔබ සිටින ස්ථානයේ ගිගුරුම් සහිත වැස්සක් නිරීක්ෂණය වේ නම් වහාම ඉන් ආරක්ෂාවීමට පියවර ගත යුතු වේ.
වර්තමානයේ ප්‍රමුඛපෙලේ කාලගුණික සහ දේශගුණික සේවා සපයන ආයතනයක් වන European Centre for Medium-Range Weather Forecasts (ECMWF) ආයතනයේ පර්යේෂකයන් විසින් හඳුන්වා දෙන ලද සාර්ව උණුසුම් දේශගුණ දර්ශකය (Universal Thermal Climate Index - UTCI) යොදා ගනිමින් ලංකාවේ මාර්තු සහ අප්‍රේල් මාසවල සලකන වේලාවන් වලදී එම UTCI අගයන් සිතියම් ගත කරන ලදී. (සාර්ව තාප දේශගුණ දර්ශකය යනු කුමක්ද පිළිබඳව වැඩිදුර දැන ගැනීමට කා.වි.දෙ. දෙවන දේශගුණ පුවත් ලිපියෙ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතාගේ ලිපිය මේ යොමුවෙන් කියවන්න.) මෙම උෂ්ණත්ව දර්ශකය කාණ්ඩ දහයක අගයන් (05 රූපය) දක්වන අතර ඉන් අධික ශීතල සිට ආන්තික ශීතල දක්වා කාණ්ඩ තුනකුත් අධික උණුසුම් සිට ආන්තික උණුසුම් දක්වා කාණ්ඩ තුනකුත් හඳුනා ගත හැකියි. මෙම කාණ්ඩ 6 මගින් නිරූපණය වන පාරිසරික තත්වයන් මිනිස් සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට එරිහිව යමින් සෞඛ්‍ය ගැටළු ඇති කිරීමේ හැකියාවක් පවතින බව වැඩි දුරටත් සඳහන් වේ.
ඒ අනුව බලනකල මාර්තු මාසයේ සාමාන්‍ය දවසක දහවල් 12.30 සිට සවස 3.30 දක්වා කාලය තුලදී පැයෙන් පැයට සිදුවන UTCI අගයන්හි වෙනස් වීම 06.(a)(b)(c) සහ (d) හි සිතියම් ගත කරන ලදී. මෙම සිතියම් අනුව වඩාත් පැහැදිලි වනුයේ මධ්‍යම කඳුකරය හැර සෙසු ප්‍රදේශ මෙම කාලයන් සියල්ලේදීම UTCI හි "අධික උණුසුම්" කාණ්ඩයට අයත් වන බවයි. එසේම දහවල් 12.30 සිට 02.30 දක්වා කාලය තුළ විශේෂයෙන්ම කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ "ඉතා අධික උණුසුම්" කාණ්ඩයට පවා අයත් වන බවක් නිරීක්ෂණය කල හැකියි. 7(a)(b)(c) සහ (d) සිතියම් අනුව අප්‍රේල් මාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදීද දිවයිනේ බොහෝ ප්‍රදේශ දහවල් කාලය පුරා "අධික උණුසුම්" කාණ්ඩයේ පවතින අතර උතුරුමැද සහ උතුරු පළාත්, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ "ඉතා අධික උණුසුම්" වන බව පසුගිය දත්ත විශ්ලේෂණයන්ගෙන් වඩාත් පැහැදිලි වේ.
අවසාන වශයෙන් ලිපිය සාරාංශගත කිරීමේදී පළමු අන්තර්-මෝසම් කාලය තුළ ප්‍රධාන වශයෙන් වියලි උණුසුම් දේශගුණික තත්වයන් ඇතිවීම සාමාන්‍ය ලක්ෂණයක් බව නිරීක්ෂණය කල හැකියි. අන්තර් මෝසම අයත් මාර්තු අප්‍රේල් මාස දෙකෙන් අප්‍රේල් මාසයේ එම තත්වයන් අධික ස්වභාවයක් ගනී. කෙසේ වෙතත් මෙම කාලයේ ඇතිවිය හැකි ජීවිත සහ සෞඛ්‍ය අවදානම් අවම කර ගැනීමට නිසි පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒවා අතුරින් ජලය අවම වීම, අකුණු අනතුරු සහ උෂ්ණ අධික තත්වයන් වැනි දේවල් මගහරවා ගැනීම ප්‍රධාන වේ. සිරුරට අවශ්‍ය තරම් ජලය පානය කිරීම, උෂ්ණ අධික දහවල් වේලාවන් වලදී එළිමහන් ස්ථානවල වැඩ කිරීමෙන් හැකි පමණ වැළකී සිටීම සහ එවන් අවස්ථා මග හැරිය නොහැකි නම් විටින් විට ක්‍රියාකාරකම් නවත්වා විවේක ගැනම අවශ්‍ය විය හැකියි. විශේෂයෙන්ම අකුණු සහිත අවස්තාවන්වලදී එළිමහන් ක්‍රියාකාරකම් වලින් වැළකී ආරක්‍ෂිත ස්ථානයක හෝ ගොඩනැගිල්ලක් තුල සිටීම ඉතාමත් අවශ්‍ය වේ.
රූපසටහන් සඳහා යොදාගත් දත්ත.
i 01.(a)(b)(c) සහ (d) – ECMWF’s ERA-5
Reanalysis data (1979-2019)
ii 02.(a)(b)(c) සහ (d) - ECMWF’s ERA-5
Reanalysis data (1979-2019)
iii 03 (a) සහ (b) - GLD 360 lightening strokes data over
the years 2015 - 2018 from the Department of meteorology, under the Finnish
Meteorological Institute under the Severe Storm Warning Services for Sri Lanka
(SSWSS) project
iv 04.(a) සහ (b) - GLD 360
lightening strokes data
v 06.(a)(b)(c) සහ (d) - ECMWF’s UTCI calculations
based on ERA-5 Reanalysis data (1979-2021)
vi 07.(a)(b)(c) සහ (d) - ECMWF’s UTCI calculations
based on ERA-5 Reanalysis data (1979-2021)
පරිශීලනයන්
01.
Lightening Hazards Profiles of Sri Lanka. Chapter
06. UNDP-DMC
02.
Di Napoli C., et al.,(2018): “Assessing
heat-related health risk in Europe via the Universal Thermal Climate Index
(UTCI)”, International Journal of Biometeorology (2018) 62:1155–1165, https://doi.org/10.1007/s00484-
018-1518-2
03.
User guide of Thermal comfort indices derived
from ERA5 reanalysis, European Centre for Medium-Range Weather Forecasts
(ECMWF).
04.
Climate newsletter Vol 02. - Department of
meteorology
05. www.meteo.gov.lk
01. www.weather.gov
02. www.nssl.noaa.gov
03. www.nationalgeographic.com
(මෙය කා.වි.දෙ. මගින් නිකුත් කරන දේශගුණ පුවත්ලිපියේ තුන්වන කලාපය සඳහා මා විසින් සකසන ලද ලිපියක් වන අතර සියලුම සිතියම් සහ ප්‍රස්ථාර විශ්ලේෂණයන් ඉහත දක්වන ලද දත්ත යොදා ගනිමින් මා විසින් නිර්මාණය කරනලද ඒවා වේ. උපුටා ගන්නේ නම් අදාළ දත්ත සහ මෙම වෙබ් පිටුව සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි.)
කාලගුණ විද්‍යාඥ - ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය
කොළඹ.
2 Comments
අනර්ඝ තත්වයේ ලිපි තියෙනවා.අද තමයි මේ මුලින්ම බැලුවේ.
ReplyDeleteබොහොම ස්තූතියි!
Delete