මේ දවස්වල රෑට/පාන්දරට සීතලයි. ඇයි?

ප්‍රධානම හේතුව විදියට විකිරණය මගින් සිසිලනය (radiation cooling) හඳුන්වන්න පුලුවන්.

ඒක වෙන්නෙ මෙහෙම,

උදේ/දවල් 

සූර්යයාගෙං පොලොවට ශක්තිය ලැබෙන්නෙ විකිරණ විදියට. ඒව පොලොවට එන්නෙ කෙටි තරංග ආකාරයෙන්. මේ තරංගවල ශක්තිය ඉහල නිසා බොහෝවිට දහවලේ වලාකුළු තිබුනත් ඒවා විනිවිදගෙන පෘතුවියකරා එන්න, ඒවායින් වැඩි ප්‍රමාණයකට ලේසියෙම්ම පුලුවන්. කෙටි තරංග මගින් පෘතුවියට ශක්තිය ලැබුනට පස්සෙ පෘතුවිය රත්වෙන්න ගන්නව. මේ රත්වීම නිසා පොලොවෙ උෂ්ණත්වය සාපේක්ෂව ඉහල අගයන් වල පැවතිය හැකි අතර පොළවෙන් ඉහල වායුගෝලයට යත්ම උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙනව.

රෑ/පාන්දර  

ඉර බැහැල ගිහින් නිසා, රාත්‍රියේදී තවදුරටත් පොළොවට(රාත්‍රිය උදාවී ඇති ප්‍රදේශවල) තාප ශක්තිය ලැබෙන්නෙ නැහැ. දහවලේ රත් වෙච්ච පෘතුවිය තමුංගෙ ශක්තිය ඉවත් කරගන්න උත්සාහ කරනව. හැබැයි පෘතුවිය නිකුත් කරන්නෙ දිගු තරංග. මේවාට ලොකු ශක්තියක් නැහැ. බැරිවෙලාවත් අහසෙ රෑට වලාකුළු තිබුනොත්, මේ තරංගවලට වලාකුළු විනිවිදගෙන ඉහල අවකාශයට යන්න පුලුවන් හැකියාව අවම නිසා, වලාකුළුවල වැදිල ආයිත් පොළොවට එනව.

වලාකුළු රහිත දහවලක් ගම්මු, සූර්යයාගෙං ශක්තිය ලැබෙනව වගේම ඒ ලබාගත්තු ශක්තියෙං කොටසක් පෘතුවිය විසිං බාදාවකිං තොරව (වලාකුළු නැති නිසා) ඉහල අවකාශයට මුදාහරිනව. මේක සාමාන්‍ය තත්වය. වලාකුළු තිබුනොත් දවාලෙ රස්නෙ තවත් වැඩියි. මොකද දිගු තරංග වලාකුළුවල වැදිල නැවතත් පොලොවට පැමිණෙන නිසා.

වලාකුළු සහිත රැයක් ගැන හිතුවොත්, දැනටමත් රත් වුනු පොලොවෙං දිගු තරංග නිකුත් වීමක් පමණක් සිද්ධ වෙනව. මේ වෙලාවෙදි වලාකුළු සහිත අහසක් තියෙනව නං, හරියටම රෙද්ද්ක් පොරවගෙන නිදාගෙන ඉද්දි අපිව උණුසුම් වෙනව වගේ පොලව සාපේක්ෂව උණුසුම් ස්වභාවයක් ගන්නව. හේතුව තමයි, දිගු තරංග පොළොවෙං ඉවත්වෙලා අවකාශයට නොයන එක. නමුත් රෑට/පාන්දරට වලාකුළු නැත්තං, පොලොවේ තාපය දිගු තරංග විදියට ඉක්මනින් ඉන් ඉවත අවකාශයට රැගෙන යන නිසා ඉතාම සීඝ්‍රයෙන් පෘතුවිය සිසිල් වෙනව.

පහත පින්තුරය මගින් මේ සිදුවිම වඩාත් පැහැදිලි වේවි.

පින්තූර 01: විකිරණය මගින් සිසිලනය. Source: internet

ටිකක් අමතර යමක්.

මේ දවස්වල ලංකාවෙ පවතින සුළං රටාවේ හරස්කඩක් බැලුවොත් පේනවා හුළඟ ඉහල සිට පහලට ගමන් කරන ස්වභාවයක්. මේ නිසා ලංකාවෙ වළාකුළු ඇතිවීව වැලැක්වෙනව වගේම වියලි ස්වභාවය තවදුරටත් ඉහල යනව. (වළාකුළු හැදෙන්න නං ජලවාෂ්ප ඉහලට ගෙනියන්නයි ඕන) පොලව සීතල වෙන්න සහ වැඩිපුර සීතල දැනෙන්න, ඒකත් තව හේතුවක්. දෙවැනි සහ තුන්වෙනි රූපවලිං පෙන්නන්නෙ අදාල හරස්කඩ රූපසටහන් (ලංකාව පිහිටල තියෙන්නෙ ආසන්නව 5N - 10N  සහ 79E - 82E අතරයි)

පින්තූර 02: ජනවාරි 21 සඳහාසුළගේ හරස්කඩක්.  v and w*100 winds over longitude. Pressure(hPa) and lattitude cross section.

පින්තූර 03: ජනවාරි 22 සඳහා සුළගේ හරස්කඩක්.  v and w*100 winds over longitude. Pressure (hPa) and lattitude cross section.


සැයු. මිනිස්සුංට "දැනෙන" උණුසුම සිසිල සඳහා තවත් කාරණාද ඇති බව සලකන්න.

2 Comments