කාලගුණ/දේශගුණ අනාවැකියක් නිවැරදිව කියවමු.

සැ.යු. මේ ලිපිය මගින් ප්‍රධාන වශයෙන්  සාකච්චා කිරීමට බලාපොරොත්තු වනුයේ මෙම බ්ලොග් අවකාශයේ පබ්ලිෂ් කරනු ලබන(ගණිතමය අනාවැකි) කියවාගැනීම සම්බන්ධවයි.


කාලගුණ/දේශගුණ අනාවැකියක ප්‍රධාන කොටස් තුනක් හඳුනා ගත හැකියි.

01. අනාවැකිය අදාලවන වෙලාව.

02. අනාවැකිය අදාලවන ප්‍රදේශය.

03. අනාවැකිය මගින් පුරෝකථනය කරනු ලබන කාලගුණික/දේශගුණික පරාමිතියේ විචලනය/ස්වභාවය කෙබඳුද යන වග. 

මෙම කරුණු වඩාත් සවිස්තරාත්මකව විමසා බලමු.

01. අනාවැකිය අදාලවන වෙලාව.

සාමාන්‍යයෙන් අනාවැකියක් යම් නිශ්චිත මොහොතක් වෙනුවෙන් නිකුත් කරනු නොලබන අතර යම් කාල ප්‍රාන්තරයක් සඳහා වලංගු වන පරිදි නිකුත් කරයි.

දැනුමට : කාලගුණ අනාවැකියක් නිකුත් කරනුයේ වඩාත් යාවත්කාලීන නිරීක්ෂණ පදනම් කරගෙනයි. එබැවින් අනාවැකිය එපරිදිම ඉටු වීමේ වඩාත්ම වැඩි සම්භාවිතාව ඇත්තේ, නිකුත් කරන ලද වෙලාවට ආසන්න කාලය තුලයි. නිදසුනක් ලෙස ඉදිරි සතිය සඳහා දිනපතා අනාවැකි ලෙස අද දිනයේදී නිකුත් කල අනාවැකියක් සලකන්නේ නම් එම සම්පුර්ණ අනාවැකිවලින් වඩාත්ම නිවැරදි අනාවැකිය හෙට දින අනාවැකිය වන අතර වඩාත්ම දෝෂ සහිත අනාවැකිය හත් වන දිනය සඳහා අනාවැකියයි.


02. අනාවැකිය අදාලවන ප්‍රදේශය.

මෙහිදීත් පෙර පරිදිම නිශ්චිත ලක්ෂීය ස්ථානයකට අනාවැකි නිකුත් කරනු වෙනුවට යම් ප්‍රදේශයක් සඳහා අනාවැකි නිකුත් කරයි. එනම් අදාළ ප්‍රදේශය සඳහා සාමාන්‍යකරණය කරන ලද අනාවැකි නිකුත් කරනු ලබයි.

දැනුමට: විශේෂයෙන්ම ලංකාව වැනි නිවර්තන කලාපීය රටවල පවත්නා භූගෝලීය වෙනස්කම් නිසා කාලගුණික පරාමිතීන්ගේ භුමිය මත ව්‍යාප්තවීම වඩාත්  සංකීර්ණ ස්වභාවයක් ගන්නව. නිදසුනක් ලෙස, මහමාර්ගයක කිලෝමීටර කිහිපයක ගමනාන්තයක් වෙත ගමන් කිරීමේදී අදික වැසි සහිත ස්ථාන සහ වැසි කිසිවක් නොමැති වියලි ස්ථාන ඔබ විසින් දැක ඇතැයි සිතමි.


03. අනාවැකිය මගින් පුරෝකථනය කරනු ලබන කාලගුණික/දේශගුණික පරාමිති.

කාලගුණික පරාමිතීන්ගේ විචලනයන් විවිධ ආකාරයෙන් දක්වන අතර ඒවා, අදාළ පරාමිතියේ ප්‍රමාණාත්මක වෙනස් වීම, දේශගුණික තත්වයට සාපේක්ෂව අඩු වැඩි වීම්, සම්භාවිතමය වෙනස් වීම් වැනි ආකාර හඳුනාගත හැකියි. 

දැනුමට: කාලගුණ පරාමිතීන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී අනාවැකිවල නිවැරදිතාවය පෙළගස්වන්නේ නම් වායුගෝලීය පීඩනය සහ උෂ්ණත්වය වැනි පරාමිතීන් ගණිතමය මොඩල භාවිතයෙන් අනාවැකිකරණය බොහෝ නිවැරදි වේ. 'වැස්ස' නිවැරදිතාවය අවම වන විචල්‍යය වන අතර මොඩල මගින් වුවද අනාවැකිකරණය වඩාත් අසීරු වේ. මෙසේ සිදුවනුයේ වැස්ස යනු ඍජු පරාමිතියක් නොවීමත් එය, සුළඟින්/වාෂ්පීකරණයෙන් එකතු කරගත් ජලවාෂ්පවලින් ආරම්භ වීම, ඝනීභවනය සහ වලාකුළු නිර්මාණය ඉන් පසුව සංතෘප්ත ජල බින්දු වැස්ස ලෙස පොළොවට වැටීම සංකීර්ණ ක්‍රියාවලියක අවසන් ප්‍රතිපලයයි.


කාලගුණ/දේශගුණ අනාවැකියකින් වැඩක් නෑද එතකොට? 

අනාවැකියෙන් බලාපොරොත්තු වෙන දේ අනුව ඒ ප්‍රශ්නෙට තියෙන පිළිතුර වෙනස් වෙනව.

*කාලගුණ අනාවැකියකින් යම් පරාමිතියක ඉදිරි කාලයේ නිශ්චිත හැසිරීම අනුව නිශ්චිත සුදානමක් වීමට බලාපොරොත්තු වන්නේ නම් පිළිතුර කාලගුණ අනාවැකියක් වැඩක් නැහැ කියන එක.

*කාලගුණ අනාවැකියකින් යම් පරාමිතියක ඉදිරි කාලයේ සිදුවිය හැකි වෙනස්කම් අනුව පෙර සුදානමක් වීමට බලාපොරොත්තු වන්නේ නම් පිළිතුර, වඩාත්ම විද්‍යාත්මක ප්‍රවේශය වනුයේ අනාවැකියක් භාවිතයයි.

හේතුව තමයි කාලගුණ අනාවැකියක් කවදාවත් 100%ක් ඇත්ත නොවන අතර 100%ක් දෝෂ සහිතත් නොවෙයි. එමගින් වායු ගෝලයේ නිශ්චිත හැසිරීම් ගැන කතා නොකරන මුත් ඒ ගැන යම් සම්භාවිතාත්මක "අදහසක්" ලබා දෙයි. අවාසනාවකට දැනට තියෙන ක්‍රමවේදයත් ඒකම තමයි.

අනාවැකි වඩාත් දියුණු කිරීම සහ තවත් කරුණු පසුවට.

0 Comments