සුළිකුණාටුවකට නමක්!
2013 අවුරුද්දෙ මැයි මාසේ ඇතිවු සුළිකුණාටුවක නම විදියට කා.වි.දෙ. විසින් ලබාදී ඇත්තේ "මහසෙන්" යන්න. එවිට එය ව්‍යවහාර වනුයේ "මහසෙන් සුළිකුණාටුව" ලෙසයි. මෙම කාල වකවානුව තුළ එම නම සම්බන්ධව සංඝයාවහන්සේ කිහිපනමක්, දේශපාලන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් විසින් මෙම නම සුලිකුණාටුවක් වැනි "විනාශකාරී දෙයක්" වෙනුවෙන් යොදා ගැනීමට එරෙහිව ඔවුන්ගේ විරෝධය දක්වනු ලැබීය. කෙසේවෙතත් එල්ලවූ විරෝධය හමුවේ කා.වි.දෙ. විසින් සමාව ඉල්ලා සිටි අතර පසුව එම සුළිකුණාටුව "වියරු" ලෙස භාවිතා කෙරිණ. මේ ලිපිය "වියරු" ගැන නෙවේ, සුළිකුණාටු නාමකරණය ගැනයි.
ලෝක කාලගුණ සංගමය සහ ආසියා පැසිපික් ආර්ථික සහ සමාජීය කොමිසම (Economic and Social Commission for Asia and the Pacific (ESCAP) and the World Meteorological Organization (WMO) ) එක්ව 1968 පිහිටුවා ගන්නා ලද කමිටුවට(WMO/ESCAP) අනුව එහි සාමාජිකත්වය දරණ රටවල්වල කාලගුණික/ජල-කාලගුණික සේවා සපයන ආයතන (ලංකාව නියෝජනය කරමින් කා.වි.දෙපාර්තමේන්තුව) විසින් කලාපීය සුළිකුණාටු සඳහා නම් යෝජනා කිරීම සිදු කරයි.
ලංකාවද අයත්ව උතුරු ඉන්දීය-සාගර කලාපයේ රටවල් 13ක් විසින් මේ වනවිට බෙන්ගාලබොක්ක සහ අරාබි මුහුදේ ඇතිවන සුළිකුණාටු සඳහා නම් යෝජනා කෙරේ. කලාපයේ රටවල් සහ එම රටවල් WMO/ESCAP කොමිටියේ ලියාපදිංචි වූ වසරවල් පහත දැක්වේ.
1. බංග්ලාදේශය 1972
2. ඉන්දියාව 1972
3. ඉරානය - 2018
4. මාලදිවයින - 1982
5. මියන්මාරය - 1972
6. ඕමානය - 1997
7. පකිස්ථානය - 1972
8. කටාර් - 2018
9. සවුදි අරාබිය - 2018
10. ශ්‍රී ලංකාව - 1972
11. තායිලන්තය - 1972
12. එක්සත් අරාබි එමීර් - 2018
13. යේමනය - 2016
දැනට භාවිතා වන නම් ලැයිස්තුව සඳහා එක් රටකින් නම් 13ක් බැගින් රටවල් 13න් නාමයන් 169 (13x13) ක් ලබා දී ඇති අතර එම නම් සුළිකුණාටු සඳහා යෙදීමේදී පහත රූප සටහනේ දැක්වෙන පරිදි අකාරාදී පිළිවෙලට සැකසු රටවල් වලින් ලබා දී ඇති නම් අනුපිළිවෙල යොදා ගනී. තවද මේ සඳහා කලාපීය වගකීම දරනුයේ නවදිල්ලිහි නිවර්තන සුළිකුණාටු පිලිබඳ ආයතනයටයි.(RSMC New Delhi Tropical Cyclone Center)
අද ( 2021 මැයි 16 ) තත්වය:
මේ වන විට බෙන්ගාලබොක්ක සහ අරාබි මුහුදේ ඇතිවූ සුළිකුණාටු සඳහා Nisarga, Gati, Nivar Burevi සහ පසුගිය දිනදී Tauktae යන නම් පහ භාවිතා කර අවසන් අතර මීළඟට ඇතිවන නව සුළිකුණාටුව සඳහා ඕමානය විසින් යෝජිත Yaas භාවිතා කිරීමට නියමිතයි.
0 Comments