නිරිතදිග මෝසම
නිරිතදිග මෝසම් කාලය තුල මාසිකව සිදුවන දේශගුණික වෙනස්කම් පිලිබඳ සන්සන්දනයක්. (වසර 40ක ECMWF’s Reanalysis (ERA5 1979-2019) දත්ත ඇසුරින් සකසා ඇත.)
ඝර්ම කලාපීය මෝසම් දේශගුණයක් සහිත රටක් ලෙස වර්ගීකරණය කල හැකි ලංකාවේ පිහිටුම අනුව එයටම සුවිශේෂී වූ දේශගුණික ලක්ෂණ දකින්න පුළුවන්. වර්ෂාව නිර්මාණයට අවශ්‍ය වඩාත් වැදගත් සාදකයන් බොහොමයක් ලංකාවට ආවේනිකව පවතී. ඒවා අතරින් සමකාසන්නව පිහිටුමත්, මුහුදෙන් වටවී තිබීමත්, ප්‍රමාණයෙන් කුඩා වීම සහ මධ්‍යම කඳුකරයත් ප්‍රධාන වන අතර මේ හේතූන් නිසා ලංකාවේ විවිධ ප්‍රදේශයන්වල එකම කාලය තුලදී වුව විවිධ දේශගුණික ලක්ෂණ දැකිය හැකියි. මධ්‍යම කඳුකරය නිසා නිරිත දෙසින් මෝසම් සුළං හමන විට රටේ නිරිතදිග කොටස් වලටත් ඊසානදිග මෝසම් කාලයේදී දිවයිනේ ඊසානදිග කොටස්වලටත් වැසි ලැබෙන අතර අන්තර් මෝසම් කාලයන් තුළ රටපුරා ව්‍යාප්ත වූ ගිගුරුම් සහිත වැසි දකින්න පුළුවන්.
කෙසේ වෙතත් මෙම ලිපියේ අරමුණ වනුයේ දිවයිනේ ප්‍රධානතම මෝසම වන මැයි සිට සැප්තැම්බර් දක්වා සාමාන්‍යයෙන් මාස පහක් පුරා පවතින නිරිතදිග මෝසමේ එක් එක් මාසයන්හි පවතින දේශගුණික පරාමිතීන්ගේ විචලනය පිළිබඳව සොයා බැලීමයි. ඒ අනුව ප්‍රධානවශයෙන් වැස්ස, උෂ්ණත්වය සහ සුළඟ පිළිබඳව සොයා බලමු.
මෝසමේ සාමාන්‍ය ස්වභාවය අනුව වැසි තත්ත්වය නිරිත කොටසට එනම් කඳු පන්තියෙන් නිරිත දෙසට එකතු වීමක් හැම මාසයකම දකින්න හැකි වුවත් ජුනි මස මෙම ස්වභාවය වඩාත් වැඩි අතර අගෝස්තු මාසයේදී එය අඩුවීමක් දකින්න පුළුවන්. මැයි සහ සැප්තැම්බර් වැසි ව්‍යප්තීන් තරමක් දිවයින පුරා දකින්නට හැකි අතර මෙය අන්තර් මෝසම් ලක්ෂණ සමග මුසුවූ පෙර මෝසම් සහ පසු මෝසම් තත්වයක් ලෙස හඳුනාගත හැකියි.
පොලොව ආසන්නයේ සුළං රටාව සහ ප්‍රහාරක සුළං සලකා බැලීමේදී ප්‍රධාන වශයෙන් බස්නාහිරට බරව නිරිත දෙසින් හමන සුළං දැකගත හැකි අතර සැලකිය යුතු මට්ටමේ වේගයක් පවතී. පැ.කි.මී. 50ට වැඩි ප්‍රහාරක සුළං දිවයිනේ ගිනිකොණ සහ වයඹ/උතුරු ගොඩබිම් සහ විශේෂයෙන් මුහුදු ප්‍රදේශවලට මෝසම් කාලය පුරා දකින්නට පුළුවන්. මෙම තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් ජුනි සහ ජුලි මස සාමාන්‍ය දේශගුණික තත්ත්වයන් යටතේ නිරීක්ෂණය කල හැකි බවක් පෙනේ.
ලංකාවේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට ඇති උසත් සමග විචලනයක් දකින්න හැකි වුවත් මෝසම් කාලයේදී එයට තවත් සාධකයක් ලෙස ඉන්දියන් සාගරයෙන් රැගෙන එන වඩාත් ඉහල ජලවාෂ්ප ප්‍රමාණයක් සහිත මෝසම් සුළන් ප්‍රවාහය බලපෑම් කර ඇති බවක් පෙනී යයි. ඒ අනුව දිවයිනේ නිරිත කොටස්වල උෂ්ණත්වයේ සාපේක්ෂ අඩුවීමක් මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුල දකින්න පුළුවන්. කෙසේ වෙතත් මෝසම් සුළං තීව්‍ර වීමත් සමගම වේගවත් වන සුළං, දිවයිනේ නිරිත දෙසට වැඩි වැසි ප්‍රමාණයක් ලබා දී උෂ්ණත්වය වැඩිවූ වියලි සුළං (කච්චාන් සුළං) ලෙස මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් හරහා ගොස් දිවයිනේ නැගෙනහිර කොටස්වල උෂ්ණත්වය වඩාත් වැඩි වැඩි කිරීමක් විශේෂයෙන්ම ජුනි ජුලි මාසවල නිරීක්ෂණය කල හැකියි.
මේ අනුව දේශගුණික පරාමිතීන් ඔස්සේ නිරිතදිග මෝසමේ සාමාන්‍ය තත්ත්වය විමසා බැලීමේදී මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුල මාසික වශයෙන් සිදුවන යම් යම් වෙනස්කම් හඳුනාගත හැකි අතර ඒවා මුලික වශයෙන් මෝසම් සුළං ප්‍රවාහයේ විචලනය වීම් අනුව සිදුවන බව දකින්න පුළුවන්. එනම් විශේෂයෙන්ම එල් නිනෝ දක්ෂිණ දෝලනය (El-Nino Southern Oscillation), ඉන්දීය සාගර ඩයිපෝලය (Indian Ocean Dipole) සහ මැඩන් ජුලියන් දෝලනය (Madden Julian Oscillation) වැනි මෝසම් සුළං ප්‍රවාහයට ගෝලීයව බලපෑම් කල හැකි තත්ත්වයන් විසින් වසරේ සාමාන්‍යයෙන් පැවතිය හැකි, මෙම ලිපිය මගින් දක්වන ලද පරාමිතීන්ගේ හැසිරීම/ස්වභාවය වෙනස්වීම් වලට භාජනය විය හැකි අතර එවිට ආන්තික කාලගුණික තත්ත්වයන්ද ඇතිවීමේ හැකියාවන් පවතී.
කා.වි.දෙ. විසින් නිකුත් කරන "දේශගුණ පුවත්ලිපිය" ජුනි කලාපය වෙනුවෙන් මා විසින් සම්පාදනය කර ප්‍රසිද්ද කල ලිපියකි.
0 Comments