නුවර පෙරහැර ලංකාවෙ වඩාත් ඉහල සංස්කෘතික වටිනාකමක් සහ දෙස් විදෙස් ආකර්ෂණයක් දිනා ගන්නා ජාතික මහෝත්සවයක්. ඒ නිසාම ඒ හා බැඳුන විවිධාකාර විශ්වාසයන් ලාංකීය ජන මනසේ පවතින බව නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉන් වඩාත්ම ප්‍රචලිත විශ්වාසය ලෙස "පෙරහැර කාලෙට වහිනව" කියන එක ගන්න පුළුවන්. දැන් අපි කරන්න හදන්නෙ සරල විද්‍යාත්මක විශ්ලේෂණයකින් මේ කතාවෙ ස්වභාවය හොයල බලන්න.

ඒ අනුව පසුගිය වසර හතළිහක වර්ෂා දත්ත විශ්ලේෂණය මගින්, ඉහත ජනප්‍රවාදය ගොඩනැගීමට බලපා ඇති යම්කිසි වර්ෂා රටාවක් පෙරහැර පවත්වන කාලසීමාව තුළ හඳුනා ගත හැකිද යන්න සොයා බලමු.


දත්ත සහ ක්‍රමවේද :

කලින් සඳහන් කල විදියට මෙම විශ්ලේෂණය සඳහා 1981 සිට 2020 දක්වා වසර 40ක දිනපතා ගෝලීය (CHIRPS) දත්ත යොදාගත් අතර දත්ත විභේදනය (resolution) 5x5km වේ.

මෙම පර්යේෂණයේ ප්‍රධාන විශ්ලේෂණ ක්‍රමවේදය ලෙස වර්ෂාවේ අනියම් වෙනස්කම් (rainfall anomaly / ඇනෝමලි) භාවිතා කරන ලද අතර වැසි ඇනෝමලි යනු කුමක්දැයි උදාහරණයකින් පැහැදිලි කර ගනිමු.

උදාහරණය -

1988 වසරේ අගෝස්තු 10 දින A නම් ස්ථානයකට මි.මී. 80ක වැස්සක් ලැබුණේ නම් එදින A හි වැසි ඇනෝමලිය කුමක්දැයි සොයමු. මේ සඳහා A ස්ථානයේ අගෝස්තු 10 දින සඳහා පෙර/පසු වසරවල දත්ත මගින් ගණනය කරන ලද මධ්‍ය වැසි අගයක් අවශ්‍ය වේ. මෙම විශ්ලේෂණයේ පරිදිම වසර 40ක දත්ත ඇත්නම් එම 40දීම අගෝස්තු 10 දිනයන් 40 හි අගයන් එකතු කර 40න් බෙදීමෙන් මධ්‍ය අගය ලබා ගනී. එම අගය මි.මී. 35ක් ලෙස ලැබුණේ නම්,

ඇනෝමලිය = නිරීක්ෂිත අගය - මධ්‍ය අගය 
                    = 80-35
                    = +45 mm 

එනම් වෙනත් වසරවල අගෝස්තු 10 දිනවලට සාපේක්ෂව, 1988 වසරේ අගෝස්තු 10 දිනයේදී  මි.මී. 45ක වැඩි වර්ෂාවක් ලැබී ඇති බව සඳහන් කල හැක.


ක්‍රමවේදය

පියවර 1

1981 සිට 2020 දක්වා අවුරුදුවල ඇසළ පෝය දින සොයාගන්නා ලදී. ගණනයන් සඳහා භාවිතා කල පෝය දින පහත වගුවේ දැක්වේ. අධි පෝය දින පැවති අවස්ථාවන්වලදී මාසයේ පළමු පෝය දින සලකන ලදී.


පියවර 2

සලකන එක් පෝය දිනක(D 0) සිට පසුපසට දින 14ක් (D-14) සහ පෝය දිනට පසු දින 5ක් (D+5) ලෙස ගෙන එක් වසරක විශ්ලේෂණ දත්ත සකසා ගන්නා ලද අතර එම එක් එක් දිනයන් සඳහා වෙන වෙනම වැසි ඇනෝමලි අගයන් ගණනය කරන ලදී.


පියවර 3

ඉහත පියවර සෑම වසරකම පෝය දිනයන් සඳහා සිදු කරන ලද අතර එම දින 20 සඳහාම මධ්‍ය වැසි ඇනෝමලි අගයන් ගණනය කරන ලදී.


පියවර 4

පියවර 3හි ලබාගන්නා ලද මධ්‍ය වැසි ඇනෝමලි අගයන් සිතියම් ගත කරන ලදී.

පියවර 5

ඉහත පියවර 3න් ලබාගත් දත්ත පෙරහැර කාලයේ විශේෂ අවස්ථාවන් අනුව නැවත සකසන ලදී. ඒ අනුව පහත විශේෂ අවස්ථාවන් සඳහා මධ්‍ය වැසි ඇනෝමලි අගයන් දින ගණනට අදාලව එකතු කිරීමෙන් ඒ ඒ අවස්ථාවේ මුළු ඇනෝමලි අගය ගණනය කරන ලදී.

i කප් සිටුවීම - පෝය දිනට දින 14කට කලින් දවස.
ii ඇතුල් පෙරහැර - පෝය දිනට 09කට කලින් සම්පූර්ණ  දින 4ක්.
iii කුඹල් පෙරහැර - පෝය දිනට දින 4කට කලින් සම්පූර්ණ  දින 5ක්.
iv රන්දෝලි පෙරහැර - පෝය දින සිට කලින් සම්පූර්ණ  දින 5ක්.
v දිය කැපීම - පෝය දිනට පසු දින 1ක් 

පියවර 6

පියවර 5න් සිදුකළ ගණනයන් සිතියම් ගත කරන ලදී.

** ගණනය කරන ලද ඇනෝමලි අගයන් ගෝලීය සහ ලංකාව ලෙස වසම් දෙකක සිතියමක් බැගින් වන පරිදි සිතියම් ගත කරන ලදී.


ප්‍රතිපල සහ සාකච්ඡා 

පහත දැක්වෙන සියලුම සිතියම්වල නිල් පැහැයෙන් ධන(+) ඇනෝමලි අගයනුත් රතු පැහැයෙන් ඍණ (-) ඇනෝමලි අගයනුත් දැක්වෙයි. එක් එක් කොටස් සඳහා වෙනස් පරිමාණයන් දක්වා ඇති අතර i සහ ii කොටස් සඳහා -5 සිට +5 දක්වාත් iii සහ iv කොටස් සඳහා -10 සිට +10 දක්වා වන පරිදි පරිමාණ සකසා ඇත.

(i) කොටස

ශ්‍රී ලංකා වසමේ සිතියම් ගත කරන ලද පියවර 3න් ලබාගත් මධ්‍ය වැසි ඇනෝමලි අගයන්.







i කොටසේ සිතියම් දෙස බැලීමේදී ඇනෝමලි අගයන් + හෝ - වීමත් අඩු වැඩි වීමත් අතර නිශ්චිත රටාවක් හඳුනා ගත නොහැකි බව නිරීක්ෂණය වන අතර පෝයට දින 12කට කලින් දවස, දින 7කට කලින් දවස සහ දින තුනකට පසු දවස ලෙස දවස් තුනක් සාපේක්ෂව වැඩි + ඇනෝමලි අගයන් පෙන්වයි. එසේම, පෝයට දින 6කට කලින්, දින 2කට කලින් සහ දිනකට කලින් දවස් සැලකීමේදී සාපේක්ෂව - ඇනෝමලි අගයන් දැකිය හැක. සෙසු දිනවලදී + හා - ඇනෝමලි අගයන් විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති ආකාරයක් දැකිය හැකිය.


(ii) කොටස

ගෝලීය සිතියම් ගත කරන ලද පියවර 3න් ලබාගත් මධ්‍ය වැසි ඇනෝමලි අගයන්.










ii කොටසේ සිතියම් දෙස බැලීමේදීද ඇනෝමලි අගයන් + හෝ - වීමත් ප්‍රමාණාත්මකව අඩු වැඩි වීමත් අතර නිශ්චිත රටාවක් හඳුනා ගත නොහැකි බව නිරීක්ෂණය වන අතර ඉන්දියාව චීනය අප්‍රිකා මහාද්වීපයේ සහ ඇමෙරිකා මහද්වීපයන්හී සමකාසන්න ප්‍රදේශවල වඩාත් ඉහල විචලනයක් සහිත + හා - ඇනෝමලි අගයන් ව්‍යාප්ත වී ඇති ආකාරයක් දැකිය හැකියි.

(iii) කොටස

පියවර 5ට අනුව, ශ්‍රී ලංකා වසමේ සිතියම් ගත කරන ලද එකතු කල මධ්‍ය වැසි ඇනෝමලි අගයන්.



iii කොටසේ සිතියම් දෙස බැලීමේදී ඇතුල් පෙරහැර පැවැත්වෙන කාලය තුළ පමණක් සාපේක්ෂව (+) ඇනෝමලි අගයන් ව්‍යාප්ත වී ඇති ආකාරයක් දැකිය හැකි අතර රන්දෝලි පෙරහැර කාලයේ වඩාත් (-) ඇනෝමලි අගයන් නිරීක්ෂණය වේ. සෙසු සිතියම්වල එවැනි රටාවක් හෝ විශේෂත්වයක් හඳුනා ගත නොහැක.


(iv) කොටස

පියවර 5ට අනුව, ගෝලීය සිතියම් ගත කරන ලද එකතු කල මධ්‍ය වැසි ඇනෝමලි අගයන්.


iv කොටසේ සිතියම් දෙස බැලීමේදී ඇතුල් පෙරහැර, කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහැර කාලයන් තුනේදීම වඩාත් + හෝ -  ඇනෝමලි අගයන්ගේ ගෝලීය ව්‍යාප්තියක් දැකිය හැකිය.


නිගමන 

1) i, ii, iii සහ iv කොටස්වල නිරීක්ෂණයන්ගේ නිශ්චිත රටාවන් හඳුනා ගත නොහැකි අතර ඒවා අහඹු ආකාරයක් ගනී. ඒ අනුව ලංකාවේ වර්ෂාවෙ වැඩි/අඩු වීමේ ස්වභාවය සමග පෙරහැර පවත්වන කාලය/කාල සීමාව සමඟ ඍජු සහ-සම්බන්ධයක් ඇති බවක් මෙම විශ්ලේෂණය මඟින් සොයා ගත නොහැක. 

එනම්, මෙම විශ්ලේෂණයේ සීමාවන්ට යටත්ව, පෙරහැර පැවැත්වීම සහ වැස්ස ඇතිවීම එකිනෙක මත සැලකිය යුතු බලපෑමක් ඇති නොකරන හෝ දළ වශයෙන් ස්වායත්ත සංසිද්ධීන් බව නිගමනය කල හැකිය.

2) මෙම විශ්ලේෂණයේ සොයා ගැනීමට හැකිවූ වැදගත් කරුණක් තිබුණා. ඒ තමයි සමහර අවුරුදුවල පෙරහැර කාලෙට ගොඩක් (+) වැසි ඇනෝමලි ලැබිල තිබුන.(පරිමාණයන් -50 සිට +50 බව සලකන්න.) ඒ වගේම (-) වැසි ඇනෝමලිත් ලැබිල තිබුණා. (පහත පින්තූර යුගලය)


මුලින් සඳහන් කරන ලද ආකාරයටම නුවර පෙරහැර යනු ලංකාවේ වඩාත්ම අවධානයට ලක්වූ ඉතාමත් පැරණි සංස්කෘතික මංගල්‍යයක් බැවින් සහ ලාංකේය ජනතාව පෙරහැර සිරි නැරඹීමෙන් ඔබ්බට ගොස් වඩාත් භක්තිමත් ස්වභාවයකින් මෙම අවස්තාව තමන්ගේ කරගැනීම නිසා පෙරහැර ආශ්‍රිතව ඇතිවන ස්වභාවික සංසිද්ධියක් වන වැස්ස, එහිම ප්‍රතිපල බව සිතීමට පෙළඹී ඇති බවක් දිස්වන අතර සමහර පෙරහැර කාල වලදී ඇති වී ඇති යම් යම් අහඹු අධික වැසි තත්ත්වයන් ඔවුන්ගේ මෙම විශ්වාසයන් වඩාත් තදින් සිත තුල තැම්පත් කිරීමට සමත් වී ඇති බවක් පෙනේ.


ප.ලි.

මෙම විශ්ලේෂණය මගින් නුවර පෙරහැර හෝ එයට අදාළ කිසිදු පාර්ශවයක් අගතියට පත් කිරීමට කිසිවිටෙක උත්සහ දරා නැත. කෙසේ වෙතත් මෙම ලිපියේ එවන් ස්ථානයක් අන්තර්ගතවන්නේ යැයි ඔබ සිතන්නේ නම් ඒ පිළිබඳව මා දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.

මෙම විශ්ලේෂණය මගින් නුවර පෙරහැර සහ වැස්ස පිළිබඳව හෝ ඒ ආශ්‍රිතව ඇති පුද්ගලික විශ්වාසයන් ගැන හෝ අභියෝගයට ලක් නොකරන අතර එම විශ්වාස දත්ත මතම පදනම් වූ විශ්වාසයන් බව මා නොසිතමි.

අවසන් වශයෙන් මෙම කුඩා විශ්ලේෂණය පිළිබඳව ඔබේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි.

ස්තූතියි.


5 Comments

  1. නියමයි. වටිනා තොරතුරක්...

    ReplyDelete
  2. ඉතා වටිනාදත්ත සමඟ විශ්ලේශනාත්මක ලිපියක්. පහුගිය අගෝස්තු 19( රටපුරා දැඩි වියලි කාලගුනයක් පවතිද්දී) පෙරහැරක් පවතින දිනයක් ගැන කිසිදු දැනුවත් බවක් නොමැතිව 29 පෝය දින විට රට පුරා වැසි ඇතිවිය හැකි බවට කාලගුණික දත්ත මත පැවසූ විටක කීප දෙනෙක් මා සමග වාදයටද එලබුනේ ඔවුන්ගේ බුද්ධි මට්ටම අනුවමය

    ReplyDelete