සාමාන්‍ය දේශගුණික තත්ත්වයන් යටතේ නොවැම්බර් යනු දෙවැනි අන්තර් මෝසමේ දෙවන මාසයයි නැතහොත් අවසන් මාසයයි. මෙම මාසයේදීත් දිවයිනේ නිරිතදිග කොටස්, විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු සහ මධ්‍යම පළාත්වලට වැඩි වැසි ප්‍රමාණයක් ඇති වීම සාමාන්‍ය ලක්ෂණයක් වන අතර දිවයින පුරාම වැසි ඇතිවීම දැකිය හැකියි. වසරේ අනෙකුත් මාසවලට සාපේක්ෂව වැඩිම වැසි ප්‍රමාණයක් ලැබෙනුයේ නොවැම්බර් මාසයේදීයි. මෙම වැසි බොහෝ අවස්තාවන්වලදී සවස් කාලයේ ඇතිවන ගිගුරුම් සහිත වැසි බව නිරීක්ෂණය කල හැකි අතර අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම, බෙංගාල බොක්ක සහ දිවයින ආශ්‍රිතව වර්ධනය වන වායුගෝලීය අඩුපීඩන තත්ත්වයන් වගේම පීඩන අවපාතයන් හේතුවෙන්ද වැසිලැබේ.

01 රූපය: 1991-2020 දක්වා දේශගුණ කාල පරාසයේ නොවැම්බර් මස සාමාන්‍ය වර්ෂාපතන අගය මිලිමීටර් වලින්.

නොවැම්බර් මාසයේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වන කාලගුණික පද්ධති ප්‍රමාණයන් උපරිම අගයක් ගන්නා බව 02 රූපයෙන් දැක්වෙයි. මෙම පද්ධති මගින් නොවැම්බර් මාසයේ සාමාන්‍ය වර්ෂාපතනයට ඉහළ අගයක් එකතුවීම සාමාන්‍ය ලක්ෂණයයි.
02 රූපය : බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 7-15ත් නැගෙනහිර දේශාංශ 80-90ත් අතර, 1891-2022 දක්වා වසරේ විවිධ මාසවලදී නිර්මාණය වී ඇති පීඩන අවපාත, සුළිකුණාටු සහ චණ්ඩ සුළිකුණාටු ගණන.

අන්තර් මෝසම් කාලය යනු සංවහන වැසි සුලබ කාලයයි. මේ නිසා බොහෝ අවස්ථාවල හවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසිත් සමග අකුණු පැවතිය හැකියි. නොවැම්බර් මාසයේ දිවයිනේ අකුණු ව්‍යාප්තිය සලකා බැලීමේදී 03 රූපය අනුව විශේෂයෙන්ම බස්නාහිර පළාත සහ කෑගල්ල, ගාල්ල, මාතර වැනි දිස්ත්‍රික්ක වල සාපේක්ෂව අකුණු වැඩි ආකාරයක් දැකිය හැකියි.


03 රූපය: 2015 සිට 2018 දක්වා වසරවල නිරීක්ෂණය වූ අකුණු අවස්ථාවන්ගේ නොවැම්බර් මස සාමාන්‍ය අගයන්.(සැ.යු. මෙය දේශගුණ සාමාන්‍ය අගයන් නොවේ.)

නොවැම්බර් මාසයේ පැවතිය හැකි ස්වභාවික ආපදා තත්ත්වයන් ලෙස ප්‍රධාන වශයෙන් ඇතිවිය හැකි ගිගුරුම් සහිත වැසි සහ ඇතැම් අවස්ථාවලදී වඩාත් හොඳින් වර්ධනය වූ කැටි වැහි වලාකුළු නිසා, අධික වේගයක් සහිත යටි සුළං ධාරාවන් (Downdraft) වගේම ටොනේඩෝ තත්ත්වයන්ද ඇති වීමේ යම් ඉඩක් පවතී. එලෙසම දිවයින ආශ්‍රිතව සහ බෙංගාල බොක්කේ ඇතිවන අඩු පීඩන සහ පීඩන අවපාත වැනි තත්වයන් නිසා ඇතිවිය හැකි අධික වැසි තත්ත්වයන් හේතුවෙන් ගංවතුර සහ නාය අවදානම් තත්ත්වයන්ද නොවැම්බර් මාසයේ පැවතිය හැකියි.

04 රූපය: නොවැම්බර් මස සාමාන්‍ය උෂ්ණත්වය (මුහුද හා පොලොව මතුපිට මීටර 2 ක් උසින් )

මෙම මාසයේද උෂ්ණත්ව ව්‍යාප්තිය සැලකීමේදී එය ප්‍රධාන වශයෙන්ම උන්නතාංශය සමග වෙනස් වන ආකාරයක් දකින්න පුළුවන්. කෙසේ වෙතත් වෙරළබඩ ප්‍රදේශවල උෂ්ණත්වය දිවයිනේ සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව සුළු වශයෙන් වැඩි අගයන්ගන්නා බව 04 රූපයේ නිරීක්ෂණ අනුව පැහැදිළි වේ.

අන්තර්මෝසම් කාලයේදී සාමාන්‍ය ලක්ෂණයක් වන අවම සුළං සහිත බව නිසා, දිවයිනතුල සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ, වෙරළබඩ ප්‍රදේශ සහ කඳුකර ප්‍රදේශවල ක්ෂණික සුළං වැඩි වීමේ ස්වභාවය මෙම මාසයේදීත් අවම අගයක් බව 05 සහ 06 සිතියම් රූප සටහන් මගින් පෙනෙයි.

05 රූපය: සුළගේ වේගය සහ දිශාවන් (මුහුද හා පොලොව මතුපිට මීටර 10ක් උසින්)


 
06 රූපය: සුළං වේගය විටින් විට ක්ෂණිකව වැඩිවීමේ වේග ප්‍රමාණය. (මුහුද හා පොලොව මතුපිට මීටර 10ක් උසින් )

ඉහතින් දැක්වෙනුයේ 1979-2019 දක්වා වසරවල දත්ත(Grid Data) සහ කා.වි.දෙ. අකුණු නිරීක්ෂණ දත්ත(2015 සිට 2018 දක්වා) යොදාගනිමින් නොවැම්බර් මස ලංකාව ආශ්‍රිතව පවතින දේශගුණික ස්වභාවය පිළිබඳව සිදු කරනලද සොයා බැලීමකි. 

Data sources  – 
IMD cyclone data 
ECMWF’s ERA5 (https://www.ecmwf.int)
Department of Meteorology (GLD 360 lightening strokes data over the years 2015 - 2018 from the Department of meteorology, under the Finnish Meteorological Institute under the Severe Storm Warning Services for Sri Lanka (SSWSS) project)
             


         



0 Comments