ඊසානදිග මෝසමට අයත් තෙවන මාසය, නැතහොත් අවසන් මාසය වනුයේ පෙබරවාරි මාසයයි. 

මෙම මාසයේදී විශේෂයෙන්ම, දිවයිනේ සබරගමු සහ මධ්‍යම පළාත්වලට තරමක වැඩි වැසි ප්‍රමාණයක් ඇති වීම සාමාන්‍ය ලක්ෂණයක් වන අතර සෙසු ප්‍රදේශවලට අවම වැසි සහිත බවක්, දේශගුණික දත්ත විශ්ලේෂණයේදී දැක ගත හැකියි. මෙම වැසි බොහෝ අවස්තාවන්වලදී ඊසානදිග මෝසම් සුළං ප්‍රවාහය සහ එහිම දුර්වලවීම් හේතුවෙන් ඇතිවන සංවහනය වගේම පහල වායුගෝලයේ ඇතිවන කැළඹිලි තත්වයන් හේතු වන බව නිරීක්ෂණය වේ.

පෙබරවාරි මාසයේ සාමාන්‍ය වර්ෂාපතනය

මේ මාසයේදීත් උෂ්ණත්ව ව්‍යාප්තිය ප්‍රධාන වශයෙන්ම භුමියේ උන්නතාංශය සමග වෙනස් වන ආකාරයක් දකින්න. වසරේ සාමාන්‍ය උෂ්ණත්ව අගයන් අතර තරමක අවම අගයන්ගෙන් යුක්ත බව දැකිය හැකියි. කෙසේවෙතත් වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල තරමක උෂ්ණත්ව වැඩි අගයන් නිරීක්ෂණය වේ.

පෙබරවාරි මස සාමාන්‍ය උෂ්ණත්වය (මුහුද හා පොලොව මතුපිට මීටර 2 ක් උසින් )

ඊසානදිග මෝසම් සුළං රටාව නිසා මුහුදු ප්‍රදේශ, වෙරළබඩ ප්‍රදේශ සහ කඳුකර ප්‍රදේශවල ක්ෂණික සුළං වැඩි වීමේ ස්වභාවය යම් පමණකට මෙම මාසයේදීත් දකින්න පුළුවන්. මෝසමේ අනෙකුත් මාසවලට සාපේක්ෂව පෙබරවාරි මස, ක්ෂණිකව සුළං වැඩිවීම අවම වේ. කෙසේවෙතත් මන්නාරම් බොක්ක සහ ගිනිකොණ සහ දකුණු මුහුදු ප්‍රදේශ වගේම ආශ්‍රිත ගොඩබිම් ප්‍රදේශවල ක්ෂණික සුළං වැඩි වීම් නිරීක්ෂණය කල හැකියි.

සුළගේ වේගය සහ දිශාවන් (මුහුද හා පොලොව මතුපිට මීටර 10ක් උසින්) 

සුළං වේගය විටින් විට ක්ෂණිකව වැඩිවීමේ වේග ප්‍රමාණය. (මුහුද හා පොලොව මතුපිට මීටර 10ක් උසින් )

පෙබරවාරි මාසයේ පැවතිය හැකි කාලගුණ සහ දේශගුණ ආපදා පිළිබඳව අවදානය යොමු කිරීමේදී සාපේක්ෂව වඩාත් අඩු අවදානම් ප්‍රමාණයක් හඳුනාගත හැකිමුත් ප්‍රධාන වශයෙන් අවම වැසි පවතින හෙයින් නියං තත්ත්ව පැවතීමේ හැකියාවක් පවතී. වඩාත් වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් විජලනයට පත් වීම් වලක්වා ගැනීමට, වැඩිපුර ජලය පානය කිරීම අවශ්‍ය වේ.


සටහන:
ඉහතින් දැක්වෙනුයේ 1979-2019 දක්වා වසරවල දත්ත යොදාගනිමින් ජනවාරි මස ලංකාව ආශ්‍රිතව පවතින දේශගුණික ස්වභාවය පිළිබඳව සිදු කරනලද සොයා බැලීමකි. 
Data source – ECMWF’s ERA5 (https://www.ecmwf.int)
Calculations - CDO                    
Plotting - GrADS                 

0 Comments