ප්‍රභා මණ්ඩල - Halo
පහුගිය ජුලි 29 ගාල්ල, මාතර පැත්තෙ අයට අහසේ නිරීක්ෂණය වී ඇති සංසිද්දියක් ගැන කීප දෙනෙක් මගෙන් ඇහුව. ඒ වෙලාවෙ ඔලුවෙ තිබුන දේවල් වලින් උත්තර දුන්නත් පොඩි සටහනක් මේ පිටුවට එකතු කරන එක හොඳයි කියල හිතුව.
ඉංග්‍රීසියෙන් "හේලෝ" (Halo) ලෙස හඳුන්වන මෙම සංසිද්දිය සුර්යයා හෝ චන්ද්‍රයා වටා දීප්තිමත් වළල්ලක් අකාරයෙන් දිස්වන අතර වර්ණවත් වීමටද ඉඩ ඇත. පසුගිය දින දිවයිනේ දකුණු ප්‍රදේශවලට දහවල් සුර්යාලෝකය සමග නිරීක්ෂණය උවත් හඳ එලිය සමගද යම් යම් අවස්ථාවලදී මෙම සංසිද්දිය දකින්න පුළුවන්. සිංහලෙන් "සුර්ය ප්‍රභා මණ්ඩලය" සහ "චන්ද්‍ර ප්‍රභා මණ්ඩලය" ලෙස පිලිවෙලින් සුර්ය සහ චන්ද්‍ර ආලෝකය හේතුකරගෙන මෙම විශේෂ ආලෝක රටාව ඇතිවන අවස්තා නම් කර තිබෙනව.
ප්‍රභා මණ්ඩලයක් ඇති වෙන්නෙ කොහොමද?
වායුගෝලයේ අඩි 20,000ක් පමණ ඉතාමත් ඉහලින් (පරිවර්තී ගෝලයේ ඉහල - upper troposphere ) සෑදෙන තුනී වලාකුළු විශේෂයක් වන කෙඳි වලාකුළුවල (cirrus clouds) තියෙන අයිස් ස්ඵටික (ice crystals) වෙතට පතිත වෙන ආලෝකය වර්තනයට (refraction) සහ පරාවර්තනයට(reflection) ලක්වීමෙන් මේවා නිර්මාණය වෙනව. වර්තනය මගින් වර්ණවත් බවත් නැතහොත් වර්ණවලට බෙදීමත් පරාවර්තනය නිසා වඩාත් සුදු ස්වභාවයත් ප්‍රභා මණ්ඩලයකට ලැබෙනවා.
නිරීක්ෂණය කල හැකි වඩාත්ම සුලභ (ප්‍රභා මණ්ඩලයක් එතරම් තරම්ම සුලබ නැහැ.) ප්‍රභා මණ්ඩල වනුයේ ආලෝකය අංශක 22ක් වර්තනයට ලක්වීමෙන් සෑදෙන ප්‍රභා මණ්ඩල බව කියවේ.
පහල වායු ගෝලයේ වැසි සඳහා සුදුසු තත්ත්වයන් පවතින අවස්තාවන් වලදී සුර්ය හෝ චන්ද්‍ර ප්‍රභා මණ්ඩලයක් දිස්වීමෙන් ආසන්නව පසුදින හෝ ඒ ආශ්‍රිත දිනෙක මහ වැසි වැටීමේ තත්ත්වයන්ද පැවතිය හැක.
ප්‍රභා මණ්ඩල පිළිබඳව වැඩිහිටියන් කතා කරනවා ඔබ අසා ඇතිවා වෙන්නට පුළුවන. එම අත්දැකීම්ද අප සමග බෙදා ගැනීම වඩාත් වැදගත් වේවි.
සැ.යු. කිසිම අවස්තාවක සුර්යයා දෙස කෙලින්ම බැලීම කිසිවිටෙකත් නොකළ යුත්තක්!
0 Comments