මල්තුහින වැටෙන්නෙ නෑ! ඒව ඇතිවෙනව!

පොළොව මතුපිට උෂ්ණත්වය ක්‍රමිකව අඩු වීම නිසා හිමාංකයට(Freezing Point) ලඟා වන ජලවාෂ්ප/පිණි මිදීමට ලක්වන අතර ඒවා කුඩා අයිස් ස්එටික ලෙස දිස්වේ. මේවා මල් තුහින ලෙස අප විසින් හඳුන්වමු. සාමාන්‍යයෙන් මල්තුහින ලෙස අප විසින් භාවිතා කලත් ඉංග්‍රීසියෙන් මෙය ground frost ලෙස හඳුන්වනු ලැබේ. මෙහි ආකාර දෙකක් පවතින අතර "frost" ලෙස හඳුන්වනුයේ ජලය වායුමය අවස්ථාවේ(ජලවාෂ්ප) සිට ඍජුවම ඝන(crystal) බවට පත්වූ අවස්ථාවයි. මේවා සුදු පැහැයක් ගනී. තවත් ආකාරයක් වන්නේ, පින්න මිදීම (ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත් වීම.) නිසා ඇතිවන කුඩා අයිස් ස්එටිකයි. බොහෝ විට මේ සඳහා භාවිතා වනුයේ "frozen dew" යන්නයි.

මල්තුහින ඇතිවීමට ප්‍රධාන කරුණු කිහිපයක සංයුක්ත වීම අවශ්‍යවේ.

01. සුළඟ අවම වීම/නොමැති වීම.

ජලවාෂ්ප නිකුත් කරන පෘෂ්ට(ගස්වැල්, පොළොව වැනි) ආසන්නයේ ඒවා විසින් නිකුත්වන ජලවාෂ්ප සිසිලනයට ලක්ව ඝන වීමට නම් ඒවා එකම ස්ථානයක පැවතීම අවශ්‍ය වේ. සුළං ඇතිවිට සිදුවනුයේ තරමකට සිසිල්වූ මෙම ජලවාෂ්ප වෙනත් ස්ථානවෙත ගසාගෙන යාමයි.

02. තුෂාර අංකය (Dew Point) යම් ඉහල අගයක් ගැනීම.

තුෂාර අංකය ඉහල අගයක පැවතීම යනු පිණි ඇති වීමට උෂ්ණත්වය වඩාත් අඩුවීම අවශ්‍ය නොවීමයි. මෙවිට උෂ්ණත්වය වඩාත් අඩු වීමේදී පොළොවේ සහ මතුපිට පෘෂ්ටවල ඇති පින්න ප්‍රමාණය ඉහල අගයක් ගනී.

03. සාපේක්ෂ ආර්ද්‍රතාව (Relative Humidity ) අඩු වීම.

මෙවිට ගස්වැල් සහ පොළොවෙන් ජලය වාෂ්ප වීම වඩාත් සිඝ්‍රයෙන් සිදුවේ.

04. පොළොවේ උෂ්ණත්වය සෙල්සියස් 0ට වඩා අඩු වීම.

ජලය මිදීමට එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 ට වඩා අඩු වීම අත්‍යවශ්‍ය වේ.

රාත්‍රී කාලයේ වලාකුළු රහිත අහස නිසා වඩාත් සිඝ්‍රයෙන් සිදුවන විකිරණය මගින් සිසිලනය (Radiation Cooling) හේතුවෙන් පොලොව මතුපිට උෂ්ණත්වය වඩාත් අඩු අගයන් ගනී. මෙම උෂ්ණත්වය හිමාංකයට වඩා අඩුවූ විට සහ ඉහත සඳහන් කල කරුණුද තෘප්ත වන්නේ නම් මල්තුහින ඇතිවීම සිදුවේ. 

මෙය වඩාත් පැහැදිලි කර ගැනීමට උදාහරණයක් සලකමු. මෙහිදී සලකන මිනුම් පොළොවට ඉතා ආසන්න/පොළොව මතුපිට ඒවා බව සලකන්න.

මෙම සලකන කාලය තුල සෙල්සියස් අංශක 5 ක තුෂාර අංකයක් පවතී යයි උපකල්පනය කරමු.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 6 වනවිට පිණි නැත මල්තුහින නැත.
උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 වනවිට පිණි ඇත මල්තුහින නැත.
උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 වනවිට පිණි ඇත මල්තුහින ඇත.
උෂ්ණත්වය සෙල්සියස් අංශක -0.1 වනවිට පිණි නැත මල්තුහින ඇත.
උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 වනවිට පිණි ඇත මල්තුහින නැත.

ප.ලි. 

නුවරඑළියේ අවම උෂ්ණත්වය බින්දුවට වඩා අඩු අගයන් ඔබ අසා නැතුවා විය හැකි උවත් මල්තුහින පිළිබඳව පුවත් අසා ඇතුවාට සැක නැත. මල්තුහින පිළිබඳව කතා කරන විට අප සොයා බලන්නේ පොළොවේ මතුපිට උෂ්ණත්වය (තෘණ අවම උෂ්ණත්වය MOG - Minimum on Grass Temperature ) වන අතර සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතා කරන "උෂ්ණත්ව අගයන්" ලෙස අප හඳුන්වන්නේ පොළොවේ සිට අඩි 4ක් 5ක් ඉහලදී ඇති "වායුගෝලීය උෂ්ණත්වයේ" අගයයි.





ප.ප.ලි. ඡායාරුප උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාල පුවත්පත් වලින්.

0 Comments