නිරිතදිග මෝසම් කාලය පවතින මැයි සිට සැප්තැම්බර් දක්වා කාලයේදී විශේෂයෙන් ජුලි අගෝස්තු මාසවල අඩු තරමින් දවස් කිහිපය බැගින් දිවයින හරහා සුළං වේගය ඉතා ඉහල යන අවස්තා තියෙනව. මෙහෙම වෙන්න හේතු කිහිපයක් අතරෙ  ප්‍රධාන හේතු දෙකක් අඳුන ගම්මු.

1. සෝමාලි ජෙට් සුළං ප්‍රවාහය ( Somali Jet or Findlater jet)

2. පැසිෆික් සාගරයේ සුළිකුණාටු ඇතිවීම.

පින්තූරය: සෝමාලි ජෙට් ප්‍රවාහය(රතු) පැසිෆික් සාගරයේ සුළි කුණාටුවක් (IN-FA) වෙත ඇදෙන සුළං (කහ පැහැ). source - www.windy.com

සෝමාලි ජෙට් සුළං ප්‍රවාහය ආසියානු ගිම්හාන මෝසම් ( Asian summer monsoon) කාලය ස්ථාපිත වීමේදී ඉතාමත් වැදගත් කාර්ය භාරයක් ඉටු කරන දේශගුණික තත්ත්වයක්. (පින්තූරයේ රතු පැහැති රේඛාව)

මුරිෂෂ් දිවයින් ආශ්‍රිතව ආරම්භ වී උතුරු මැඩගස්කරය සහ අප්‍රිකාවේ මොසැම්බික්, කෙන්යා, ඉතියෝපියා සහ සෝමාලියා වෙරළ සහ ගොඩබිම් මායිම් හරහා ගොස් අරාබි මුහුද හරහා ඉන්දියාව වෙත, වසරේ ජුනි මාසයෙදී ගමන් කිරීම සාමාන්‍ය ස්වභාවයයි.

මෙම ජෙට් ප්‍රවාහය ලෝකයේ පහළින්ම ගමන් කරන වේගවත්ම ජෙට් සුළං ප්‍රවාහයකි. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට මීටර 1000ත් 1500ත් අතර උසකින් එය පවතී. ජුලි-අගෝස්තු මාසවලදී වඩාත් ප්‍රභල වන අතර උපරිම සුළං වේගය පැ.කි.මී. 150 පමණ ඉක්මවයි.

ගිම්හාන මෝසම් කාලය තුලදී වායුගෝලයේ සිදුවියහැකි යම් යම් විචලනයන් හේතුවෙන් මෙම ජෙට් ප්‍රවාහයේද විචලනයන් ඇතිවී එහි ඍජු බලපෑම්, ලංකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශ සහ දිවයින හරහා දකින්න පුළුවන්. ඉන් බොහෝ අවස්ථාවලදී වඩාත් වැඩි ආපදා තත්ත්වයන් නිරීක්ෂණය කළ හැකියි.

පැසිෆික් සාගරයේ සුළිකුණාටු කාලය සාමාන්‍යයෙන් මැයි මස මැද ආරම්භ වී නොවැම්බර් මස අග අවසාන වෙයි. ප්‍රභලතාවය අනුව මෙම සුළි කුණාටු විවිධාකාර වන අතර ඉතා විශාල හානි සිදු කල හැකි කැටගරි-3 (අභ්‍යන්තර සුළං වේගය පැ.කි.මී.178-208 පමණ වන සුළිකුණාටු) සුළිකුණාටුද වෙයි.

මෙම පද්ධතීන් ආශ්‍රිතව පවතින වායුගෝලීය පීඩනය ඉතාමත් අවම වන අතර මෙම කාලයේදීම මැඩගස්කරය වැනි දකුණු අර්ධ ගෝලීය ප්‍රදේශවල පීඩනය ඉතා වැඩි අගයන් ගනී. ඒ අනුව පීඩන අනුක්‍රමණය සමනය වන තෙක් වැඩි පීඩනයේ සිට අඩු පීඩනය වෙත සුළං ගලා එයි. තවද මෙම කාලය ඉන්දීය සාගරය ඇතුළු ආසියානු කලාපයේත් දිවයින හරහාත් නිරිතදිග මෝසම ස්ථාපිතව පවතින බැවින් ඉහතින් සඳහන් කරන ලද සුළඟ ලංකාව හරහාද  ගමන් කරනු දැකිය හැකියි. එවිට සුළි කුණාටු වෙත ඇදී යන සුලඟ විසින් දිවයින හරහා පවතින සුළං වේගය තවදුරටත් වැඩි කරයි. (පින්තූරයේ කහ පැහැති රේඛාව)

0 Comments