වසරේ ඔක්තෝබර් නොවැම්බර් යනු දෙවන අන්තර් මෝසම් කාලයයි. නිරිතදිග මෝසම අවසානයත් සමගම දුර්වල වන මෝසම් සුළං ප්‍රවාහය අවසන් වූ පසුව දිවයිනට බලපෑම් කරන විශේෂිත සුළං රටාවක් නොමැති වීමත්, දිවයින ආශ්‍රිතව ඇතිවන මුහුදු සුළං සහ ගොඩ සුළං වගේම සංවහනය නිසාත් නිසා උදෑසන සහ දහවල් කාලයේ වඩාත් හොඳින් හිරු රශ්මිය ඇතිවී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සාමාන්‍යයෙන් නිරීක්ෂණය කල හැකි අතර බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිවන පීඩන අවපාතයන් නිසාද මේ කාලයේ වැසි ලැබේ.

කෘෂිකාර්මික රටක් වශයෙන් ලංකාවට වඩාත් වැදගත්ම ඍතුව දෙවන අන්තර් මෝසම බව මගේ හැගීමයි. වසර පුරා ලැබෙන වැසි ප්‍රතිශතයන් සැලකීමේදී නිරිතදිග මෝසම සහ දෙවන අන්තර් මෝසම යන දෙකෙන්ම මුළු වර්ෂාපතනයෙන් 30%ක් පමණ බැගින් වැසි ලබාදෙයි. කෙසේ වෙතත් නිරිතදිග මෝසම් වැස්ස බොහෝ විට දිවයිනේ නිරිතදිග ප්‍රදේශ වලට සීමා වන අතර දෙවන අන්තර් මෝසම් වැසි ලංකාව පුරා ව්‍යාප්ත වීමක් දකින්න පුළුවන්. මේ හේතුව නිසාම දිවයින පුරා කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය වගේම භූගත ජලයත් වඩාත් සැලකිය යුතු ප්‍රමාණයක් ලැබෙනුයේ දෙවන අන්තර් මෝසම මගිනි. 01. රූපයෙහි දැක්වෙනුයේ දෙවන අන්තර් මෝසමේ දිනක සාමාන්‍ය වැසි ප්‍රමාණයන් දක්වන සිතියමක් වේ.

01.රූපය: දෙවන අන්තර් මෝසමේ දිනක සාමාන්‍ය වර්ෂාපතන අගයන් (1981-2020 දත්ත ඇසුරින් )

පෙර සඳහන් කල පරිදි මෝසම් සුළං නොමැති වීමෙන් දිවයිනේ කාලගුණයට බලපෑම් කරන විශේෂ සුළං රටාවක් නොමැති වුවත් වසරේ ඕනෑම කාලයකදී මෙන්ම දෙවන අන්තර් මෝසම් කාලයේදීත් ලංකාවෙ කාලගුණයට ප්‍රධාන වශයෙන් බලපෑම් කරන කලාපීය සහ ගෝලීය සංසිද්ධීන් තුනක් හඳුනා ගත හැකියි.


(I) එල්-නීනියෝ/ලා-නීනියා  (El-Nino Southern Oscillation - ENSO )

මෙය, සමකාසන්න පැසිෆික් සාගරයේ නැගෙනහිර සහ බටහිර කලාපයේ වෙළඳ සුළං මගින් තාපය ව්‍යාප්ත වීමේ අසමානතාවයන් නිසා ඇතිවන සංසිද්ධියක් වන අතර එල් නීනියෝ සහ ලා-නීනියා ලෙස අවස්ථා දෙකක් පවතී. මෙය සාමාන්‍යයෙන් වසර කිහිපයකට වතාවක් ඇතිවන අතර ඉන් සමහර  කාලයන්වලදී වඩාත් තීව්‍රතාවයෙන්  වැඩි එල්-නීනියෝ සහ ලා-නීනියා දකින්න පුළුවන්. අනෙක් රටවලට සාපේක්ෂව ලංකාවට මෙහි බලපෑම තරමක් අඩු උවත් දෙවන අන්තර් මෝසමේ වැඩි බලපෑම් සහිත බවක් පෙනෙන්න තියෙනව. 02.රූපයේ දැක්වෙන පරිදි නවතම විශ්ලේෂණ සහ අනාවැකි අනුව ඔක්තෝබර් නොවැම්බර් මාස වලදී ලා-නීනියා තත්ත්වයක් ඇතිවීමේ වැඩි ඉඩක් පවතී.


02 රූපය : Nino 3.4 කලාපයේ 2021 පැවති ENSO තත්ත්වයන් නිරීක්ෂණය සහ අනාවැකි (Source : www.bom.gov.au)

ENSO හි අලුත්ම තත්ත්වය මෙතනින් බලන්න 


(II) ඉන්දියානු සාගර ඩයිපෝලය (Indian Ocean Dipole - IOD)

මෙම සංසිද්ධිය ඇති වන්නේ ඉන්දියානු සාගර කලාපයෙයි. එල් නීනියෝ අකාරයටම තරමක් සමාන වන අතර මෙම  සංසිද්ධියත් දෙවන අන්තර් මෝසමට බලපෑම් ඇති කරයි. මෙහිද පවතින ආකාරයට + සහ - IOD වශයෙන්  අවස්ථාවන් දෙකක් ලෙස වර්ග කර ඇත. 03.රූපයේ දැක්වෙන පරිදි නවතම විශ්ලේෂණ සහ අනාවැකි අනුව ඔක්තෝබර් නොවැම්බර් මාස වලදී විශේෂ IOD තත්ත්වයක් ඇතිවීමේ තත්ත්වයක් නොමැති අතර උදාසීන මට්ටමේ පවතී.

                    03 රූපය: 2021 වසරේ ඉන්දියානු සාගර ඩයිපෝලයේ හැසිරීම සහ අනාවැකි ( Source : www.bom.gov.au )

IOD අලුත්ම තත්ත්වය මෙතනින් බලන්න 


(III) මැඩන් ජුලියන් දෝලනය (Madden–Julian Oscillation - MJO)

මෙය නිවර්තන කාලගුණයට වඩාත්මෙ ඉහළ බලපෑමක්ය ඇතිකරන තරමක් සංකීර්ණ සංසිද්ධියක් වන අතර සාමාන්‍යයෙන් දින 30-60 අතර ආවර්ත කාලයක් පවතී. මැඩන් ජුලියන් දෝලනය සඳහා රූපයේ පරිදි වෙනස් කලාවන්  අටකට බෙදෙන අතර සහ විශාලත්වය අනුව දුර්වල ( 04. රූපයේ දැක්වෙන පරිදි එහි මධ්‍යයේ ඇති වෘත්තය අභ්‍යන්තර ප්‍රදේශය) සහ ශක්තිමත් ලෙස නැවත කාණ්ඩ දෙකකට බෙදෙයි. ඒ අනුව සම්පුර්ණ වශයෙන් එකිනෙකට වෙනස් අවස්තාවන් 9 ක් දැකිය හැකියි.

04 රූපය: මැඩන් ජුලියන් දෝලනයෙහි පසුගිය දින කිහිපයේ නිරීක්ෂණ සහ ඉදිරි දින කිහිපයක අනාවැකි (Source: www.cpc.ncep.noaa.gov)

MJO අලුත්ම තත්ත්වය මෙතනින් බලන්න 


ඉහත වායුගෝලීය සංසිද්ධීන්ගේ එකිනෙකට‍ වෙනස් මුහුණුවරයන් මගින් අන්තර් මෝසම් වැස්ස කෙරෙහි ඇතිවන බලපෑම පහත පරිදි විශ්ලේෂණය කොට සිතියම්ගත කළ හැකියි.

සැ.යු. පහතින් දැක්වෙන සිතියම් සකසා ඇත්තේ වර්ෂාවේ ඇනෝමලි අගයන් ඇසුරින් වන අතර  ඇනෝමලි අගයන් යනු අදාල කාලයේ පවතින සාමාන්‍ය වර්ෂාපතනයට සාපේක්ෂව (එක් එක් අවස්ථාවේ පැවති වායු ගෝලීය සංසිද්ධි පැවති විටදී) දිනකට කොපමණ මි.මී. ප්‍රමාණයක් අඩු හෝ වැඩි වී ඇත් ද යන බවයි.

05.රූපය - 1981-2018 දක්වා කාල පරාසයේ දෙවන අන්තර් මෝසම් කාලයන් තුල එල්-නීනියෝ සහ ලා-නීනියා ඇතිවූ අවස්තාවන්හිදී ලංකාවේ දෛනික වැසි ඇනෝමලි ( මි.මී.) සිතියම්.

ඉහත 05.රූපය අනුව වඩාත්ම පැහැදිලිව පෙනෙනුයේ දෙවන අන්තර්මෝසම් කාලයේදී පැසිෆික් සාගරයේ පවතින එල්-නීනියෝ තත්ත්වයන් මගින් ලංකාවේ සාමාන්‍ය වැසි තත්වයන් වඩාත් වැඩි වීමකට ලක්ව ඇති බවක් සහ ලා-නීනියා තත්වයකදී එය තරමක අඩු ස්වභාවයක් ගෙන ඇති බවත්ය.

06.රූපය - 1981-2018 දක්වා කාල පරාසයේ දෙවන අන්තර් මෝසම් කාලයන් තුල ධන ඉන්දීය සාගර ඩයිපෝලය සහ ඍණ ඉන්දීය සාගර ඩයිපෝලයන් ඇතිවූ අවස්තාවන්හිදී ලංකාවේ දෛනික වැසි ඇනෝමලි ( මි.මී.) සිතියම්.

06. රූපය අනුව ඉන්දීය සාගර ඩයිපෝලය ධණ අවස්තාවන්වලදී(PIOD) අන්තර්මෝසම් වැස්ස වඩාත් වැඩි වී ඇති ඇති බවක් නිරීක්ෂණය කල හැකියි. මෙම පර්යේෂණය සඳහා භාවිතා කරන ලද 1981-2018 දත්ත ආවරණය වන දෙවන අන්තර් මෝසම් කාලයේ ඍණ ඉන්දීය සාගර ඩයිපෝලයක් (NIOD) සහිත එක අවස්තාවක් පමණක් වාර්තා වී ඇත්තේ 1996දී. එබැවින් ඉන්දීය සාගර ඩයිපෝලය ඍණ වන අවස්තාවන් පිළිබඳව පොදු අදහසක් ලබාගත නොහැකියි.

පෙර සඳහන් කල පරිදි MJO යනු වඩාත් කෙටි කාලීනව ඇතිවන සංසිද්ධියක් බැවින් දෙවන අන්තර් මෝසම තුල ලැබිය හැකි වැසි පිළිබඳව කලින් අනාවැකියකට එළඹීමකට එය භාවිතා කිරීම තරමක් අපහසුයි. කෙසේ වෙතත් මෙහි බලපෑම විසින් තීරණාත්මක ලෙස අන්තර් මෝසම් වැස්ස වෙනස් විය හැකියි. 
ඒ අනුව 07. රූපයේ දැක්වෙන පරිදි phase 1,2 සහ 3 යන අවස්ථාවලදී සාමාන්‍ය අන්තර් මෝසම් වැස්සට සාපේක්ෂව වඩාත් වැඩි වැසිත්, phase 5,6 සහ 7 දී වඩාත් අඩු වැසි ස්වභාවයකුත් නිරීක්ෂණය කල හැකියි. phase 4 හි සාමාන්‍ය ස්වභාවයක් ගත හැකි අතර phase 8 හිදී දිවයිනේ ගිනිකොණදිග ප්‍රදේශවල තරමක අඩු වැසි සහිත බවක් සහ සෙසු ප්‍රදේශවල සාපේක්ෂව වැඩි වැසි ස්වභාවයක් නිරීක්ෂණය කල හැකියි. 

07.රූපය - 1981-2018 දක්වා කාල පරාසයේ දෙවන අන්තර් මෝසම් කාලයන් තුල මැඩන්-ජුලියන් දෝලනයේ එක් එක් කලාවන් වලදී ඒ ඒ කලාවන්වලදී ලංකාවේ ඇතිවී ඇති දෛනික වැසි ඇනෝමලි ( මි.මී.) සිතියම්.


මෙවර(2021) දෙවන අන්තර් මෝසමට අදාළ ප්‍රධාන ගෝලීය සංසිද්ධීන්ගෙන් වඩාත් ප්‍රමුඛ සාධකයක් වන ENSO තත්ත්වය ලා-නීනියා බවට පත්විය හැකි බවක්, දැනට ඇති නිරීක්ෂණ සහ අනාවැකි මගින් දැකිය හැකියි. එනම් මෙම පර්යේෂණයට අනුව මෙවර ඔක්තෝබර් නොවැම්බර් කාලයේ පවතින දෙවන අන්තර් මෝසම් වැස්ස සාපේක්ෂව අඩු වීමේ හැකියාවක් පවතී.

IOD උදාසීන මට්ටමක පවතින බැවින් එහි බලපෑම අවම වේ. MJO පිළිබඳව සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ඇතිවිය හැකි පීඩන අවපාතයන් ගැන දැනට අනාවැකි ඉදිරිපත් කළ නොහැකි අතර මෙවර එම සංසිද්ධීන් ලංකාවේ පැවතිය යුතු සාමාන්‍ය වැස්ස හෝ ඊට වඩා වැස්ස අඩු වීම පිළිබඳව තීරණාත්මක සාධකයන්  වනු ඇති.

ප.ලි. 
මෙම ලිපියේ අන්තර්ගතය සකසන ලද්දේ මා විසින් 2020 වසරේ අවසන් කරනලද, චීනයේ Nanjing University Of Information Science and Tehnology (NUIST) විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාදිය සඳහා සකසන ලද නිබන්දයේ කොටසක් උපුටා ගැනීමෙනි.

2 Comments